අදත් වැස්සොත් IPL අවසන් තීරණය මෙන්න

සුපිරි IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය වෙත ඊයේ ලෝකයේම අවධානය යොමුව තිබිණි.

කෙසේ වෙතත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එම අවසන් මහා තරගය අමතර දිනය ලෙස නම්කර තිබූ අද (29) දක්වා කල්තැබීමට තරග තීරකවරුන් තීරණය කළේය.

ඒ අනුව සැලසුම් කළ අයුරින්ම එම අවසන් මහා තරගය අද අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් අද දිනයේද මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් තරගයේ ජය පැරදුම තීරණය කෙරෙන අවසන් නීතිරීති පිළිබඳව අප සොයාබැලීමක් සිදුකළේය.

එම තරග නීතිවලට අනුව සම්පූර්ණ තරගය, එනම් දෙපිළටම පන්දුවාර 20 බැගින් ක්‍රීඩා කිරීමට අවස්ථාව රාත්‍රී 9.35 දක්වා හිමිවේ.

ඒ අනුව රාත්‍රී 9.35 වනවිට ක්‍රීඩාංගණය තරගය පැවැත්වීම සඳහා සූදානම් කෙරුණහොත් තරගය බාධාවකින් තොරව පැවැත්වෙනු ඇති.

එසේම වර්ෂාවෙන් බාධා එල්ලවී තරගය පැවැත්වීම සඳහා ක්‍රීඩාංගණය සූදානම් කිරීමට රාත්‍රී 9.35 පසුවුවහොත් අවසන් මහා තරගයේ ජය පැරදුම තීරණය කිරීම සඳහා පන්දුවාර 5 බැගින් දෙපිලටම ලබා දී තරගය පැවැත්වෙනු ඇති.

මේ අතර අතිරේක දිනයේද වර්ෂාවෙන් බාධා එල්ලවීමේ තත්ත්වයක් හමුවේ තරගයක් පවත්වා IPL ශූරයින් තෝරාගැනීමට ඇති අවසාන අවස්ථාව වන්නේ සුපිරි ඕවර තරගයයි.

ඒ සඳහාද අවසාන වශයෙන් හෙට (30) අලුයම 1.20 වනවිට ක්‍රීඩාංගණය තරගය පැවැත්වීම සඳහා සූදානම් කර තිබිය යුතුය.

අවාසනාවන්ත තත්ත්වයක් මධ්‍යයේ වර්ෂාව හේතුවෙන් එම අවස්ථාවද මගහැරී ගියහොත් මෙවර IPL ශූරතාවය තරග 70කට පසුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටින කණ්ඩායමට හිමිවනු ඇත.

ඒ අනුව අවසන් මහා තරගයට එක්වන ගුජරාට් කණ්ඩායම එම ප්‍රසාද ලකුණු සටහනේ චෙන්නායි කණ්ඩායම අභිබවා ප්‍රථම ස්ථානයේ රැඳී සිටියි.

තරග නීතිවලට අනුව අතිරේක දිනය වනු අද දිනයේද වර්ෂාවට සේදී ගියහොත් මෙවර IPL ශූරතාවය ගුජරාට් කණ්ඩායමට හිමිවනු ඇත.

අද දහවල් වනවිට අහමදාබාද් ආශ්‍රිතව පැහැදිළි අහසක් දැකගත හැකි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එසේ වුවද කාලගුණ වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ අද පස්වරුව වනවිට අහස වලාකුළුවලින් බරවිය හැකි බවය.

කෙසේවෙතත් අද සවස 6.30න් පසුව වලාකුළුවලින් තොර පැහැදිළි අහසක් දැකගත හැකි බවත් එම වාර්තා වැඩිදුරටත් පවසයි.

අද රාත්‍රියේ අහමදාබාද් වෙත වර්ෂාව ඇතිවීමේ ප්‍රතිශතය දැක්වෙන්නේ සියයට 22ක් ලෙසටය.

Leave a Reply

Your email address will not be published.