අධික වේගයෙන් රිය ධාවනය කරන රියැදුරන් හඳුනාගෙන නීතියේ රැහැනට හසුකර ගැනීමට මේ වන විට ලෝකයේ භාවිත වන තාක්ෂණයෙන් ඉහළ වේග මාපක උපකරණ (SPEED GUN) 30ක් මිලදී ගෙන ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව එම උපකරණ රටපුරා පොලිස් කොට්ඨාස 30ක රථවාහන අංශයේ නිලධාරීන්ට භාර දී තිබේ. මෙම වේගමාපක උපකරණ මඟින් වේගයෙන් ධාවනය කරන වාහනයේ වේගය පමණක් නොව, එම වාහනයේ රියැදුරු අසුනේ සිටින පුද්ගලයාගේ ඡායාරූපයක් ද, වාහනයේ අංක තහඩුවේ ඡායාරූපයක් ද ස්වයංක්‍රියව සටහන් වන බව රථවාහන මූලස්ථානයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් රණගල මහතා පැවසීය. අධික වේගයෙන් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් නීතියේ රැහැනට යම් රියැදුරකු හසුවූ විට මෙම වේගමාපකයේ සටහන් වූ දත්ත සහිත මුද්‍රිත පිටපතක් රියදුරාට එම අවස්ථාවේදීම ලබාදීමට හැකිවීම විශේෂිතය. දිනය, වේලාව, වේගය ආදී තොරතුරු එහි සටහන් වන බව පැවසේ.
රාත්‍රී කාලයේදී පවා පැහැදිලි ඡායාරූප ගැනීමට හැකි එම වේගමාපකය ලේසර් වර්ගයේ එකක් බව මනෝජ් රණගල මහතා සඳහන් කළේය.
අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය පදවන රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පමණක් මෙම වර්ගයේ වේගමාපක භාවිතා කළ ද සාමාන්‍ය මාර්ගවල අධික වේගයෙන් වාහන ධාවනය කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට මෙතෙක් කාලයක් භාවිත කරනු ලැබුවේ ප්‍රාථමික මට්ටමේ වේගමාපක උපකරණයි. පොලිස් දෙපාර්තමේන්තුව මිලියන 91ක් වැයකර මිලදී ගෙන ඇති මෙම වේගමාපක 30 දැනට අධිවේගී මාර්ගයේ භාවිත කරන වේගමාපකවලට වඩා තාක්ෂණයෙන් ඉහළ මට්ටමේ එකක් බව ද මනෝජ් රණගල මහතා සඳහන් කළේය.