පොලිස් “119” හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ව්‍යාජ දුරකථන ඇමතුම් 12ක් ලබාදී තිරප්පනය පොලිසිය නොමග යැවීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ, පොලිසිය සහ අධිකරණය මග හැර සිටින සැකකරුවෙකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා තිරප්පනේ පොලිසියට නියෝග කළේය.
මෙසේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේ තිරප්පනේ, පෑතිස්රඹෑව පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි.
අපරාධමය සිද්ධියක් සිදු වන බව දන්වමින් ඉකුත් දෙසැම්බර් මස 18 වන දින පොලිස් මූලස්ථානයේ, 119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට මෙම සැකකරු දුරකථන ඇමතුම් 12ක් පමණ ලබාදී ඇති බවත්
ඒ බව හදිසි ඇමතුම් මධ්‍යස්ථානය මගින් තිරප්පනේ පොලිසියට නොපමාව දන්නවා ඇති බවත් අධිකරණයට ප්‍රකාශ කළ පොලිසිය ස්ථානයට ගොස්කළ සෝදිසියේදී කිසිදු අපරාධමය කටයුත්තක් හෝ සූදානමක් නැති බවත් සැකකරු 119 පොලිස් හදිසි ඇමතුම් සන්නිවේදන මධ්‍යස්ථානයට ලබාදී ඇති සියලු ඇමතුම් අසත්‍ය ඒවා බවත් පැවසීය.
කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කරමින් තිරප්පනේ පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේ මෙම සිද්ධියේ සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.