ගුවන්තොටුපොළ පොලිස් භාරයේ සිටි පාතාලයා පැන්නූ භික්ෂූන් දෙදෙනා අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපොළ පොලීසියේ අත්අඩංගුවේ සිටි මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවකු මුදාගෙන රැගෙන ගිය බව කියන භික්ෂූන්  දෙදෙනා හා මෝටර් රථයේ රියදුරාව අත්අඩංගුවට ගෙන තිබේ.

හෙට්ටිපොළ ප්‍රදේශයේදී ඔවුන්ව අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත්  දකුණු අපරාධ කොට්ඨාසය පැවසීය.

සැකකාර භික්ෂූන් දෙදෙනා පැමිණි බව කියන මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙට්ටිපොල රිට්ටාදෙනිය ශ්‍රී ජය ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පොත්තේ වල ඉන්ද්‍රසාර (38), දිවුල්වැවේ දීපානන්ද (40) සහ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ අඹේවෙල, කළුබෝවිටියන පදිංචි කඹුරුගමුව වීරසිංහ ආරච්චිලාගේ දිලාන් (27) යන තිදෙනාය.

වයස අවුරුදු 11ක සාමණේර හිමික් ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන ඇත.

මෝටර් රථය තුළ තිබී ඩුබායි රටට පළායාම සඳහා පැමිණි සැකකරුට අයත් ගමන් මලු දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.

ඉකුත් දෙසැම්බර් 18 වනදා හංවැල්ල ප්‍රදේශයේ දී ආපන ශාලා හිමිකරුවෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හඳුනාගෙන සිටි සැකකරු ව්‍යාජ නමකින් විදේශ ගතවීමට සූදානමින් සිටින බවට පොලීසිය ලද තොරතුරක් අනුව අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් විදේශ ගමන් තහනම් නියෝගයක් ආගමන විගමන පාලකවරයා වෙත ඉකුත් ජනවාරි 03 වනදා දින ලබාදී තිබුණි.

එහි අනුව ඉකුත් 24 වනදා ඩුබායි යාම සඳහා පැමිණ සිටි සැකකරුව ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ භාරයට පත්කර තිබියදී එහි පැමිණි හිමිවරුන් තිදෙනෙක් පොලිස් භාරයේ සිටි සැකකරු මුදාගෙන ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *