- පැය 12ක විදුලි කප්පාදුවට
- අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑමට
- පාර්ලිමේන්තුවේ කොටසක් විනාශයි
- බුල්ඩෝසරයක් යොදා ගේට්ටුව කඩා බිඳ දමලා
- වහා මැතිවරණයක් පවත්වන්න අන්තර්වාර අගමැතිට ජනතාවගෙන් බලපෑම්
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දරාගත නොහැකි අයුරින් ඉහළ යෑමත්, එක දිගට විදුලි කප්පාදුවක් සිදු කිරීමත් හේතුවෙන් කෝපයට පත් ලිබියාවේ දහස් ගණනක ජනතාව එරට පාර්ලිමේන්තු ගොඩනැඟිගිල්ලට ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ටොබ්රුක් නගරයේ පිහිටා ඇති පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලට පසුගිය සිකුරාදා කඩා වැදුණු දහස් ගණනින් යුතු ජනතාව මේ ගිනි තැබීම සිදු කර ඇත.
විරෝධතාකරුවන් බුල්ඩෝසරයක් උපයෝගි කරගනිමින් පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගේට්ටුව කඩා බිඳ දැමීමෙන් පසු ඊට ඇතුළු වී ඇති අතර, කැලි කසළ හා ටයර් යොදා පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ප්‍රවේශ දොරටුව අසල මේ ගිනි තැබීම සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ ගිනි තැබීමෙන් පාර්ලිමේන්තුවේ කොටසක් විනාශයට පත්ව ඇතැයි ද වාර්තා වේ.
ජීවන වියදම නැවත යථා තත්ත්වයට පත් කරන ලෙස රජයට බලපෑම් කරමින් දින කිහිපයක් පුරා මේ උද්ඝෝෂණ පැවැත්වෙන අතර, වහාම මැතිවරණයක් පවත්වන ලෙස එරට අන්තර්වාර රජයේ අගමැති අබ්දුල් ඩලීබාට බල කරමින් සිටින බව ද වාර්තාවේ.
සිකුරාදා දිනයක් බැවින් ගිනි තැබීම සිදුවන අවස්ථාවේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල හිස්ව පැවැති බවත්, නොඑසේ නම් තත්ත්වය දරුණු අතට හැරීමට ඉඩ තිබුණු බවත් ඇතැම් වාර්තා මඟින් සඳහන් විය.
පවතින ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ලිබියාවේ ජන ජීවිතය දැඩි පසුබෑමකට ලක් වී ඇති අතර, ගෑස් සැපයුම අඩාළ වීම හේතුවෙන් දෛනිකව පැය 12ක විදුලි කප්පාදුවකට මුහුණ දීමට එරට ජනතාවට සිදු වී තිබේ.