පොළොන්නරුවේ ග්‍රාමසේවකවරයෙක් ට පහරදීමක්

පොළොන්නරුව ඔරලෝසුකණුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් ග්‍රාම ග්‍රාමසේවකවරයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොළොන්නරුව නගර ග්‍රාම නිලධාරී වසමේ ඉඩමක මාර්ගයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල්කරගනිමින් එම පහරදීම සිදුව ඇති බව සඳහන්ය.

පහරකෑමට ලක්වු ග්‍රාම නිලධාරීවරයා පවසන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් තමාව ඔහුගේ නිල රථයේ නංවාගෙන අදාළ ස්ථානය වෙත රැගෙන ගිය බවය.

පසුව ඔහු විසින් අදාළ ඉඩමේ පවතින ගැටලුව විසඳීමට තමාට උපදෙස් ලබාදුන්න ද එහි පවතින නීතිමය ගැටලුවක් හේතුවෙන් එය විසඳීමට තමාට හැකියාවක් නොමැති බව ග්‍රාම නිලධාරීවරයා ප්‍රකාශ කර තිබේ.

එහෙත් එම ගැටලුව විසඳා යළි තමාව හමුවන ලෙසට උපදෙස් ලබා දී එම ස්ථානයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා ඉවත්ව ගිය පසු එක් පාර්ශවයක් විසින් තමාට පහරදුන් බව ග්‍රාම නිලධාරීවරයා පවසයි.

කෙසේවෙතත් “අද දෙරණ” මේ සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු තමාට එල්ල වන චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

මේ අතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අද දිනයේ පොළොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ග්‍රාම නිලධාරීවරුන් අසනීප නිවාඩු වාර්තා කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.