බස් අනතුරින් දිවි බේරාගත් තරුණයා

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාළමෙන් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ඔයකට පෙරළීමෙන් සිදුවු අනතුරින් මියගිය සංඛ්‍යාව 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අනතුරින් තවත් 41 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

කදුරුවෙල සිට කාත්තන්කුඩි දක්වා ධාවනය වු මෙම බස් රථය කොටලීය ඔයට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.

බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඔයට පෙරළී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් මියගිය පුද්ගලයින් අතර එක් කාන්තාවක් ද වන අතර තුවාල ලැබුවන් 41දෙනා ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර තිබේ.

මේ අතර බස් රථ අනතුරින් දිවි බේරාගත් එහි ගමන් කළ තරුණයෙකු සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස පැහැදිලි කළේය.

“බස් එක කදුරුවෙල ඉඳලා කල්මුණේ යන්න අපි ආවේ. 50ක් වගේ හිටියා. දහ දෙනෙක් වගේ නැගිටලා හිටියා. 7.30 විතර තමා බස් එක ස්ටාට් කරේ. හයිස්පීඩ් තමා ආවේ. පාළමට ළං වෙද්දි එකපාරටම නැවතුණා. නැවතිලා එකපාරටම ඇතුළට වැටුණා. මම හිටියේ ජනෙල් පැත්තේ. මම මුලින්ම එළියට ආවේ. පොලීසිය ආවා විනාඩි 5ක් 10ක් වගේ ඇතුළත. ගොඩක් අයට සිහිය තිබුණේ නෑ.”

කෙසේවෙතත් මෙම බස් රථයට මගී ප්‍රවාහන කටයුතු සඳහා නිසි බලපත්‍රයක් නොමැති බවද වාර්තා වේ.

නැගෙනහිර පළාත් සභාව මඟින් ලබාදී ඇති නිත්‍යානුකුල නොවන බලපත්‍රයක් භාවිත කරමින් ඔවුන් බස් රථ ධාවනය කර ඇති බවද සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.