පරවියා ඉල්ලූ මිතුරා ට මන්න ප්‍රහාරයක්

පිය පුතු දෙපළක් එක්වී පුද්ගලයෙකුගේ දෑත්වලට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් පානදුරෙන් වාර්තා විය.

අද (27) දහවල් මෙම සිද්ධිය ඇතිවී තිබෙන්නේ පරවියෙකු සම්බන්ධ ආරවුලක් දුරදිග යෑමෙනි.

පානදුර පහන්ගම ප්‍රදේශයේ ගල් වත්තේගෙදර නිමල්සිරි නමැති 52 හැවිරිදි පුද්ගලයෙකු විසින් අනුර ජයලත් නමැති අයෙකුගේ පරවියෙකු අල්ලාගෙන ඇති අතර එම පරවියා ඉල්ලා ගැනීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේදී අනුර ජයලත් නමැති 54 හැවිරිදි පුද්ගලයාට මෙලෙස මන්නා පිහියකින් පහරදී ඇත.

එම පහරදීමට නිමල්සිරි සහ ඔහුගේ පුත් 27 හැවිරිදි නදුන් මධුශංක යන අයද සම්බන්ධවී ඇතැයි පැවසෙයි.

පසුව ප්‍රදේශවාසීන් එක්වී බරපතළ කැපුම් තුවාල ලබාසිටි පුද්ගලයාව රෝහල්ගත කර තිබේ.

පානදුර රෝහලට ඇතුළත් කෙරුණු එම පුද්ගලයාව පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර ඇත.

සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන පානදුර දකුණ පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published.