හරක් කටාට පැන යාමට සූදානම් කළ යතුරුපැදියක් හමු වේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටාට පළා යෑම සඳහා සූදානම් කර තිබූ බවට සැක කෙරෙන යතුරුපැදියක් සොයාගෙන තිබේ.

ඒ, එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි ප්‍රවාහන අංශය ඉදිරිපිට නවතා තිබිය දී ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි ප්‍රවාහන අංශය ඉදිරිපිට නවතා තිබූ හිමිකරුවකු නොමැති  යතුරුපැදියක් සම්බන්ධයෙන් විමර්ශකයන් ගේ අවදානය යොමු ව තිබිණි.

එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ හා අධ්‍යක්ෂවරයා ගේ මෝටර් රථ නවත්වන ස්ථානය ආසන්නයේ ගාල් කර තිබී ඇති බව වාර්තා වේ.

ව්‍යාජ අංක තහඩු සහිත එම යතුරුපැදියෙහි චැසි අංක ද වෙනස් කර තිබී ඇති අතර, එහි ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම ඉන්ධනවලින් පුරවා තිබූ බව ද අනාවරණය වී ඇත.

ඒ අනුව එය හරක් කටාට පළා යෑම සඳහා සූදානම් කර තිබූ එකක් බවට විමර්ශන නිලධාරීහු සැක කරති. 

කෙසේ වෙතත් මෙම යතුරුපැදිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට රැගෙන ආවේ කවුරුන් ද යන්න පිළිබඳ සොයාගැනීමට අපහසු තත්ත්වයක් පවතින බව ද විමර්ශන නිලධාරීහු අවධාරණය කරති.

Leave a Reply

Your email address will not be published.