දඹ රන් පිළිමය කොල්ලකන්න ආ පිරිසෙන් දෙදෙනකු ගම්වාසීන් අල්ලා ගනී

කරුවලගස්වැව පුලියන්කුලම වෙහෙරගල රජමහා විහාරස්ථානයේ දඹ රන් පිළිමය කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් පිරිසක් විහාරයේ ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂකයින්ට පහර දී ගිනි අවි පැහැර ගෙන පිළිමය සොරා ගැනීමට කළ උත්සාහයක් ගම්වාසින් විසින් වළකා කොල්ලකරුවන් දෙදෙනකු අල්ලා සාලියවැව පොලිසියට භාරදී ඇත.

වැන් රථයකින් ඊයේ (17) අලුයම විහාර භුමියට පැමිණ ඇති කොල්ලකරුවන් රන් පිළිමය තැම්පත් කර ඇති ආරක්ෂිත ධාතු මන්දිරයට කඩා වැදි ඇති බවත් එහි ආරක්ෂාවට සිටි සිවිල් ආරක්ෂක නියාමකයින්ට පහරදී ගිනි අවි පැහැර ගෙන ඇති බවත් සාලියවැව පොලිසිය කියයි. කොල්ලකරුවන් දඹ රන් පිළිමය පැහැර ගැනීමට සුදානම් වනවාත් සමඟ සිවිල් ආරක්ෂක නියාමකයින් මහ හඬින් කෑගසා ඇති බවත්, කෑගැසීමෙන් අවදි වු විහාරස්ථානයේ රැඳී සිටි හිමිවරුන් හා අනෙක් පිරිස් සමඟ ගම්වැසියන් විහාර භූමියට පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ජනතාව රැස්වෙද්දී කොල්ලකරුවන් ඔවුන් පැමිණි වෑන් රථයෙන් පලා ගොස් ඇති අතර විහාරස්ථානයට කඩා වැදි සිටි කොල්ලකරුවන් තිදෙනාගෙන් අයකු රැස්ව සිටි ජනතාව දැඩි ප්‍රයත්නයක් දරා අල්ලා ගෙන ඇති බවද පොලිසිය කියයි.

මෙහිදී ප්‍රදේශයේ ජනතාව පලා ගිය සැකකරුවන් දෙදෙනා සොයා ඇති අතර, එහිදී නිවසක සැඟවී සිට යතුරු පැදියකින් පලායාමට සුදානම් වූ තවත් අයකු ගම්වාසින් විසින් අල්ලාගෙන පොලිසියට භාරදෙනු ලැබ තිබිණි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමෙන් පොලිසිය අනාවරණය කර ගෙන ඇත්තේ දඹ රන් පිළිමය කොල්ලකෑමට හය දෙනෙකුගෙන් සමන්විත කොල්ලකරුවන් පිරිසක් වෑන් රථයෙන් පැමිණ ඇති බවත් මොවුන් රත්නපුර හා ඇඹිලිපිටිය පදිංචිකරුවන් බවත්ය.

මෙලෙස වෙහෙරගල රජමහා විහාරස්ථානයේ තැම්පත් කර ඇති දඹ රන් පිළිමය පැහැර ගැනීමට අවස්ථා හයක් උත්සාහ කර එය වැළකී තිබූ බවත් අවස්ථා දෙකකදී මෙම දඹ රන් පිළිමය පැහැර ගෙන යමින් සිටි කොල්ලකරුවන් රැගත් වාහනය අනතුරකට ලක්වී කොල්ලකරුවකු මරණයට පත්ව තිබූ බවත් වාර්තා වෙයි.

එසේම තවත් අවස්ථාවක මෙම දඹ රන් පිළිමය පැහැර ගැනීමක් සිදුකර තිබූ නමුත් කොල්ලකරුවන් එම පිළිමය මහ මග දමා ගොස් තිබියදී සොයා ගැනීමට හැකිවූ බව ද සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published.