චීනයට නව කන්සියුලර් කාර්යාලයක්

චීනයේ, වෙන්දු (Chengdu) නගරය ආශ්‍රිතව ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලයක් පිහිටුවීමට කටයුුතු කරන බව රජය පවසයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරයේදී මේ සම්බන්ධයෙන් සාකච්ජාවට ලක්වූ බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.

“අපිට ඒ ප්‍රාන්ත ප්‍රධානියා එකඟතාවය පළ කළා, ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ පහසුකම් නොමිලේ ලබාදෙන්න. ඒ අනුව විදේශ අමාත්‍යාංශය විදියට වෙන්දු නගරයේ නව කන්සියුලර් කාර්යාලයක් විවෘත කරන්න අපිට අවස්ථාව හිමිවෙනවා ඉදිරියේ දී.”

ජනාධිපතිවරයාගේ චීන සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ දී දෙපාර්ශවය අතර ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික සහයෝගීතාවය වර්ධනය කරගැනීමට ගැඹුරු සාකච්ඡාවක නිරත වූ බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

“මෙම සංචාරයේදී යුවාන් මිලියන 500ක ප්‍රධානයක් චීනයෙන් ලැබුණා…ඒක ආපහු ගෙවන්න ඕන නෑ..ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සංවර්ධන කටයුුතු කරන්න. ඒත් එක්කම චීනය අපේ පාසල් ළමයින් මේ අවුරැද්දට පාසල් නිල ඇඳුම් දුන්නා. ඒවගේම තමා 2026 වසරටත් ඇඳුම් දෙන්න චීනය පොරොන්දු වුණා. විශේෂයෙන්ම තවත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා ලංකාව චීනය තුළ ප්‍රවර්ධනය කිරීමට අදාළව. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා සංචාරකයින් වැඩි වශයෙන් අපේ රටට ගෙන්න ගන්න.”

විදෙස් රටවලින් පැමිණෙන නෞකා සඳහා නව මෙහෙයුම් ක්‍රියා පටිපාටයක් සකස් කිරීමට රජයේ අවධානය යොමු ව ඇතැයි ද අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී පැවසීය.

ඒ අනුව මේ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අමාත්‍යවරයා සදහන් කළේය.

මෙම නව මෙහෙයුම් ක්‍රියා පටිපාටිය සකස් කිරීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කර තිබේ.

මෙම නව මෙහෙයුම් ක්‍රියාපටිපාටිය හැකි ඉක්මනින් සකස් කිරීමට නියමිත අතර ඒ දක්වා දැනට ක්‍රියාත්මක කරන ක්‍රියාපටිපාටියම සිදුකෙරුණු ඇත.

Leave a Reply

Your email address will not be published.