රේගු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ආනයනය කිරීමේදි රේගු භාරයට ගත් විවිධ වර්ගයේ භාණ්ඩ කන්ටේනර් කිහිපයක් පරික්ෂා කිරීම කොළඹ සිලෝන් ශිපිං ලයින්ස් ගමන් බඩු නිශ්කාශන ආයතනයේදී අද (24) සිදු කෙරිණි.
ඩුබායි රටවල සේවය කළ පුද්ගලයින්ගේ භාණ්ඩ ලෙස මෙම බඩු තොගය මෙරටට ගෙන්වා ඇති අතර එහි ඉඟුරු, රූපලාවන්‍ය ද්‍රව්‍ය, සපත්තු, කජු, සුවඳ විලවුන්, රෙදිපිළි, සබන්, ඇතුළු භාණ්ඩ තොගයක් අයත් ව තිබේ.
අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේ ආනයනය කර ඇති මෙම භාණ්ඩ තොගයේ වටිනාකම ලෙස රුපියල් මිලියන 120ක් බවට මේ වන විට තක්සේරු කර ඇතැයි ද යම් හෙයකින් මෙම භාණ්ඩ නිදහස් වූවා නම් රජයට රුපියල් මිලියන 120කට ආසන්න අලාභයක් සිදුවීමට නියමිතව තිබූ බවත් ය.
එමෙන්ම මෙම භාණ්ඩ සම්බන්ධව අයිතිකරුවන්ගේ ලිපිනයන් වෙත ලියුම් යොමු කර තිබුනද එම ලියුම් හරවා එවා තිබූ බවත් එම ලිපිනයන් ව්‍යාජ ලිපිනයන් බවට අනාවරණය වූ බවත් අතිරේක රේගු අධ්‍යක්ෂවරයා මෙහිදී පැවසීය.
සංවිධානාත්මක අපරාධ කල්ලියක් මෙම ජාවාරමේ මෙහෙයවනු ලබන බවට සැක පළ කරන බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව කටයුතු කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී පැවසීය.