ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 26ක් කොල්ල කෑ පොලිසියේ 2ක් හිටපු සෙබළෙක් මාට්ටු

කොළඹ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකු බැංකුවේ තැන්පත් කිරීමට ගෙන ගිය රුපියල් විසිහය ලක්ෂයක් කොල්ලකාගෙන පලාගිය බව කියන වැලිකඩ පොලිසියේ කොස්තාවල්වරුන් දෙදෙනකු සහ යුද හමුදාවේ හිටපු සෙබළකු කෙසෙල්වත්ත පොලිසිය මගින් පෙරේදා (25දා) අත්අඩංගුවට ගෙන ඇත.

කෙසෙල්වත්ත පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ එහි නිලධාරීන් සීසීටීවී දර්ශන උපයෝගි කරගෙන සිදුකළ විමර්ශනයකදී මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා හඳුනාගෙන ඇත.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත හිටපු හමුදා සෙබළා ද අත්අඩංගුවට ගෙන තිබේ.

එම රුපියල් විසිහය ලක්ෂය බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යද්දී ව්‍යාපාරිකයා සිය භාරයට ගෙන ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා සහ හිටපු සෙබළා ඒවා අයථා මාර්ගයෙන් කෙරෙන උණ්ඩියල් ගනුදෙනු සඳහා පාවිච්චි කරන මුදල් බව කියමින් එම මුදල් කොල්ලකා පලාගොස් ඇත.

මෙම පොලිස් නිලධාරීන් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායම තවත් කොල්ලකෑම් සිදු කළේදැයි සොයා විමර්ශන ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.