පොලිසියේ සිටි සැකකරු මුදාගන්න තැත්කළ කොස්තාපල් සහ සගයා රිමාන්ඩ්

කඩවත පොලිස් ස්ථානයට පැමිණ සිර මැදිරියක සිටි සැකකරුවකු බලහත්කාරයෙන් මුදවා ගැනීමට තැත් කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයා හා ඔහුගේ සගයා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට පෙරේදා (21 වැනිදා) නියම කෙරිණි.

මහර අංක 01 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයාගේ සගයා මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය විසින් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කළාය.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයා රාගම මහා රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් ඔහු පරීක්ෂා කර නියෝගයක් නිකුත් කරන ලෙසට වත්තල මහෙස්ත්‍රාත්වරයා වෙත ඉල්ලීම් ලිපියක් නිකුත් කරන ලෙසට කඩවත පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට ද මහෙස්ත්‍රාත්වරිය අවසරය ලබා දෙන ලදී.

මේ අනුව වත්තල මහෙස්ත්‍රාත් ඩී. උඩුවවිදාන මහතා විසින් රාගම රෝහලට පැමිණ සැකකාර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂා කර ඔහු ද මේ මස 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට නියම කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.