පළාත් පාලන මැතිවරණය අද – ඡන්ද විමසීමට සියලු කටයුතු සූදානම්

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද පෙරවරු 7.00 ට දිවයින පුරා මධස්ථාන 13,759 කදී ආරම්භ වීමට නියමිතය.

ඡන්ද විමසීම පස්වරු 4.00 දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීමෙන් අනතුරුව මධ්‍යස්ථාන 5,783කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඡන්ද දායකයින් එක් කෝටි 71 ලක්ෂ 56,338 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.

මෙවර මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 75,589 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර ඉන් සභිකයින් 8,287 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නිරීක්ෂකයින් 3,000කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවේය.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන කාලය තුළ සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සහ සහන සැලසීම වෙනුවෙන් විශේෂ මැදිරියක් ස්ථාපිත කර අර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේය. 

Leave a Reply

Your email address will not be published.