නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන අධිබලැති යතුරුපැදි හතරක් සමග යතුරුපැදි 16ක් බණ්ඩාරගම පොලිස් භාරයට ගෙන තිබේ.
වෙසක් සිරි නැරඹීමට යමින් සිටි ජනතාවට පීඩාවක් යන අයුරින් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහනවලටද මහජන පීඩාවක් ඇතිවන අයුරින් අධික ශබ්ද නගමින් මෙම යතුරුපැදි අදාළ යතුරුපැදිකරුවන් විසින් ධාවනය කර තිබේ.
ඒ අනුව අදාළ යතුරුපැදි 16 සමග තරුණයින් 16 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අධිබලැති යතුරුපැදි හතරෙහි ලියාපදිංචි අංක තහඩු පරීක්ෂා කිරීමේදි ඒවා සැකකටයුතු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එමෙන්ම පොලිස් භාරයට ගත් අනෙකුත් සියලුම යතුරුපැදි නියමිත සයිලන්සර් කොටස් ඉවත් කර මාර්ගයේ ධාවනය වීමේදි ගමන් ගන්නා පදිකයින් බිය උපද්දවන සුළු හඬ පැතිරෙන අයුරින් වෙනත් කොටන් බද්ධ කර තිබූ බවටද පොලීසිය සිදුකල පරීක්ෂාවේදී දැකගත හැකි වූ බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයින් බොරලැස්ගමුව, කැස්බෑව, බණ්ඩාරගම, දොඩංගොඩ, කළුතර, හෝමාගම සහ ඉංගිරිය ආදී විවිධ ප්රදේශවල පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කළේය.
එම තරුණයින් ඇප මත මුදා හැරීමට පියවර ගෙන ඇති අතර ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.