ලොව විශාලතම ටික්ටොක් තරුව අමෙරිකාවෙන් නෙරපයි

ටික්ටොක් අනුගාමිකයන් මිලියන 162.2ක් සමග ලොව විශාලතම ටික්ටොක් තාරකාව බවට පත්ව සිටින කාබි ලාමේ, අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් බලධාරීන්ගේ භාරයට පත්ව පසුගියදා එරටින් නෙරපා හැර තිබේ.

ඔහු සිය වීසා කාලසීමාව ඉක්මවමින් අමෙරිකාව තුළ රැඳීසිටීම මීට හේතුව වී ඇති බව අනාවරණය වී ඇත.

වත්මන් ට්‍රම්ප් පරිපාලනය යටතේ ස්ථාපිත කර ඇති ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ලාමේ මෙලෙස රටින් පිට කිරීමට පියවර ගෙන තිබේ.

ඔහු එම ඒජන්සියේ අත්අඩංගුවට පත්වන අවස්ථාව වනවිට ලාස් වේගාස් හි හැරී රීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිට ඇත.

සෙනගාල සම්භවයක් සහ ඉතාලි පුරවැසිභාවය සහිත ලාම්ගේ සැබෑ නම සෙරින්ගේ කාබානේ ලාමේ.

ගෙවුණු කොවිඩ් -19 වසංගත සමයේදී ඔහු ලොව වඩාත් ජනප්‍රිය තාරකාවක් බවට පත්වුණි.

එහිදී ඔහු කිසිදු අදහස් දැක්වීමකින් තොරව හුදෙක් සිය මුහුණේ ඉරියව් සහ හැසිරීම් මඟින් ඉදිරිපත් කළ උපහාසාත්මක අංග ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ප්‍රසිද්ධියට පත්වුණි.

ලාමේ පසුගිය අප්‍රේල් 30 වනදා එක්සත් ජනපදය වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ. 

ඒ අනුව ඔහු සිය නියමිත වීසා කාලය ඉක්මවා අමෙරිකාව තුළ රැඳී සිට ඇති බවත්, ඔහු අධිකරණ නියෝගයක් හරහා රටින් පිටුවහල් කිරීමට පෙර ස්වේච්ඡාවෙන්ම රටින් පිටවීමට අවස්ථාව ලබාදුන් බවත් ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය ප්‍රකාශ කර තිබේ.

යම් ලෙසකින් අධිකරණ නියෝගයක් මඟින් රටින් පිටුවහල් කෙරෙන පුද්ගලයෙකුට නැවතත් දශකයක් ගතවන තුරුම එක්සත් ජනපදය වෙත ඇතුළුවීම තහනම් කෙරෙන බව සඳහන්ය.

ලාමේ එක්සත් ජනපදයේ රැඳී සිටි කාලය තුළදී නිව්යෝක් නුවරදී සංවිධාන වූ මෙට් ගාලා විලාසිතා උත්සවයටත් සහභාගී වී තිබේ.

ඔහු මේ වසරේ ජනවාරි මාසයේ සිට යුනිසෙෆ් සංවිධානයේ කීර්තිමත් තානාපතිවරයෙකු ලෙසද පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published.