තරුණයෙකුට හිංසා කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට දුන් නියෝගය

2019 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබාගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන පහරදී අමානුෂික වද හිංසාවට ලක් කිරීම තුළින් උරගස් මංහන්දිය පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා සහ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් ඔවුන් සිය පෞද්ගලික මුදල් වලින් ලක්ෂ 10 බැගින් වන්දි සහ නඩු ගාස්තු පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) නියෝග කළහ.

එම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වෙයි.

ඒ අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු වග උත්තරකාර උරගස්මං හංදිය පොලිසියේ ස්ථානාධිපති හරිත් සහ එහි අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් යන නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසමට යොමු කරන ලෙසත් ද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩිදුරටත් නියෝග කර තිබෙයි.

මත්තක ප්‍රදේශයේ පදිංචි පී.ඒ.එස්. මධුෂාන් නමැත්තකු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ තමන් සේවය කළ ආයතනය ගබඩාවේ තිබූ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌරගස් මං හංදිය පොලීසිය තමන්ව සොයන බවට ලැබුණු තොරතුරකට අනුව නීතිඥවරයෙකු සමග එම පොලිස් ස්ථානයට ගිය බවයි.

පසුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කරන බවට පොලීසියට නීතිඥවරයාට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවත් පෙත්සම්කරු සඳහන් කරයි.

පසුව දෙවන වග උත්තරකාර අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමන්ගේ දෑත් වලට මාංචු දමා බිම දිගේ අපරාධ අංශය පිටුපස තිබූ කාමරයකට රැගෙන ගොස් තවත් පොලිස් නිලධාරියෙකුගේ සහාය ඇතිව පහර දුන් බවට පෙත්සම්කරු චෝදනා කරයි.

මේ හේතුවෙන් තමන්ගේ අත් වල මෙන්ම පිටුපස ප්‍රදේශයෙත් විශාල වේදනාවක් හටගත් බවත් ඔහු සඳහන් කර සිටියි.

ඉන් පසුව  අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමාගේ ලිංගේන්ද්‍රිය තද කරමින් පහර දුන් බවත් ඒ අවස්ථාවේදී ඇතිවූ වේදනාව හේතුවෙන් තමන් සිහිසුන් වූ බවත් පෙත්සම්කරු කියා සිටියේය.

පසුදා පළමු වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයා මෙම සොරකම සමථයට පත් කිරීම සඳහා ලක්ෂ තුනක මුදලක් වෙළඳසැලේ හිමිකරුට ගෙවිය යුතු බව සඳහන් කරමින් පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

ඉන් අනතුරුව නාගොඩ රජයේ රෝහලට ඇතුළත්ව දින 12ක් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවූ බවත් ඔහු සඳහන් කරනවා.

එහෙත් වග උත්තරකරුවන් සිය විරෝධතා වලින් ප්‍රකාශ කර තිබුණේ තමන් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට අදාළ වන කරුණු ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වූ බව දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයටත් පත් කරමින් විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළහ.

එමෙන්ම පෙත්සම්කරු සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අධිකරණ වෛද්‍ය වාර්තා පිරික්සීමේදී ඔහු බරපතල වද හිංසනයට භාජන වී තිබෙන බව අධිකරණය හමුවේ තහවුරු වන බවයි ඔවුන් ප්‍රකාශ කළේය.

මේ තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කර තිබෙයි.

Leave a Reply

Your email address will not be published.