ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12ක කාලයක් පැවති යුද ගැටුම් මේ වනවිට සමනය වෙමින් පවතී.
ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සෘජු මැදිහත්වීමෙන් ඇති කරගත් ඉරාන -ඊශ්‍රායල සටන්විරාමය ක්‍රියාවට නැංවීමත් සමගිනි.
ආරම්භයේදී වඩාත් දුර්වල ස්වභාවයක් ගත් එම සටන්විරාමය කඩවීමේ අවදානමක් මතුවූයේ සටන්විරාම කොන්දේසි නොතකා ඉරානය, තමන් දෙසට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට ඊශ්‍රායලය කළ චෝදනාව හේතුවෙනි.
අනතුරුව, ඊට එරෙහිව ප්‍රතිචාර දැක්වූ ඊශ්‍රායලය ද ඉරානයේ රේඩාර් මධ්‍යස්ථාන කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කළේ අමෙරිකානු ජනාධිපතිවරයා කෝපයට පත්කරමින්ය.
“අපි එකඟතාවකට ආව විතරයි ඊශ්‍රායලය බෝම්බ හෙලන්න පටන් ගත්තා. මට ඊශ්‍රායලය ගැන පැහැදීමක් නැහැ. මම කිව්වම පැය 12ක් තියෙනවා කියද්දි, පළවෙනි පැයේදිම ගිහින් බෝම්බ හෙලන්නේ නැහැනේ. මට ඉරානය ගැන පැහැදීමකුත් නැහැ. ඒත් ඊශ්‍රායලය කරපු දේ ගැන මට සතුටු නැහැ. මේ රටවල් දෙකක් දීර්ඝ කාලයක් තිස්සේ දරුණු සටනක පැටලී ඉන්නවා. ඔවුන් කරන්නේ මොනවද කියලා ඔවුන්ම දන්නේ නැහැ.”
මේ සමඟ ප්‍රහාර නතරකර සටන්විරාමය සුරකින බවට දෙපාර්ශවයම නිවේදනය කළේ සාමයේ අපේක්ෂා තීව්‍රකරමිනි.
කෙසේ වෙතත් තම හමුදා ඊශ්‍රායල හමුදා පරාජය කරමින් යුද ජයග්‍රහණයක් ලද බව පවසමින් ඉරාන ජනතාව ඊයේ (24) වීථි බැස සැමරීම සිදුකළේය.
මේ අතර ඉරාන න්‍යෂ්ටික වැඩසටහන වැනසූ බවට සතුටට පත්ව සිටින ඊශ්‍රායල රජය ද යුද්ධයේ නිමාව වඩාත් අභිමානවත්ව සමරමින් සිටී.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු,
“ඊශ්‍රායල පුරවැසියනි, රයිසින් ලයන් මෙහෙයුම යටතේ ගෙවුණු දින 12 තුළ අපි ඓතිහාසික ජයග්‍රහණයක් අත්පත් කරගත්තා. මේ ජයග්‍රහණය පරම්පරා ගණනාවක් පවතීවි. අපිට තිබුණු ප්‍රධාන තර්ජන දෙකක් අපි ඉවත් කළා. ඒ න්‍යෂ්ටික බෝම්බයකින් සමූලඝාතනය වීමට තිබූ අවදානම. අනික බැලැස්ටික් මිසයිල 20,000කින් වැනසීයාමට තිබූ අවදානම”
මේ අතර ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික වැඩබිම් වන ෆෝඩෝ, නටාන්ස් සහ එස්ෆහාන් වෙත අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික බලය මුළුමනින්ම අඩපණ වූ බවට අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
කෙසේ නමුත් අමෙරිකානු බුද්ධි අංශ වාර්තාවකින් අනාවරණ වී ඇත්තේ, සිය ප්‍රහාරවලින් ඉරානයේ භූගත න්‍යෂ්ටික වැඩබිම් මුළුමනින්ම විනාශ වී නොමැති බවය.
බෝම්බ හෙලීමෙන් ෆෝඩෝ වැඩබිමේ පිවිසුම් අවහිර වී තවත් ගොඩනැගිලි කිහිපයකට හානි වී තිබුණත්, එහි භූගත ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණය සුරක්ෂිතව පවතින බව හොර රහසේම මාධ්‍ය වෙත කාන්දු වූ මේ වාර්තාවේ වැඩිදුරටත් දැක්විය.
මේ අනුව ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මාස ගණනකින් ප්‍රමාද වනු ඇති නමුත්, එය මුළුමනින්ම නවැතී නැතැයි ද බුද්ධි අංශ අනාවරණ කර තිබේ.
කෙසේ නමුත් ධවල මන්දිර ප්‍රකාශිකාව එය තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ එය වැරදි වාර්තාවක් බවය.
එමෙන්ම ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික බලය මුලිනුපුටා දැමුණු බව පෙන්ටගනය ද අවධාරණය කරයි.
අද සිට ආරම්භ වන නේටෝ රාජ්‍ය නායක සමුළුවට එක්වීමට නෙදර්ලන්තය බලා යන අතරතුර එයාර් ෆෝස් වන් යානයේ සිට අදහස් පළකරමින් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් පැවසුවේ තමන්ට ඉරාන රෙජීමය වෙනස් කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවය.
“ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවන්නේ නැහැ. ඔවුන් එක දන්නවා. ඔවුන් හොඳ වෙළෙඳ රාජ්‍යයක් වෙන්න යන්නේ. ඔවුන් හොඳ වෙළෙඳ රාජ්‍යයක්. ඔවුන් සතුව තෙල් තියෙනවා. ඔවුන් න්‍යෂ්ටික අවියක් හදන්නේ නැහැ. නැහැ මට එය අවශ්‍ය නැහැ. රෙජීම හුවමාරුවක් හරිම වියවුලක් ඇතිකරනවා. අපිට එහෙම දෙයක් අවශ්‍ය නැහැ.”
ඊශ්‍රායල ඔත්තු නිලධාරීන් ප්‍රහාරයෙන් පසුව ෆෝඩෝ න්‍යෂ්ටික වැඩබිම වෙත ගොස් එහි තත්ත්වය පරික්ෂා කර, විනාශය පිළිබඳ වාර්තා කළ බව ජනාධිපති ට්‍රම්ප් පවසා තිබුණි.
එහෙත් ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරන්නේ, එරට රජය එවන් සිදුවීමක් පිළිබඳ නොදැනුවත් බවය.
මේ අතර එක්සත් ජාතීන් යටතේ ක්‍රියාත්මක අන්තර්ජාතික පරමාණු බලශක්ති ඒජන්සිය සමඟ පවතින සහයෝගීතාවෙන් ඉවත් වීමට ඉරාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.
මේ අතර යුද ගැටුම් සමනය වීමත් සමඟ ඊශ්‍රායලයේ ජන ජීවිතය සාමාන්‍ය අතට හැරෙමින් පවතී.
ඒ අනුව ජන ඒකරාශීවීම් සහ උත්සව පැවැත්වීම සම්බන්ධව මෙතෙක් පනවා තිබූ තහනම ඉතා ඉක්මනින් අහෝසි කරනු ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
එමෙන්ම ඊශ්‍රායලය ගුවන්තොටුපොළ ද කඩිනමින් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා විවෘත වනු ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබුණි.