බස්නාහිරට සහ අධිවේගයට අද සිට Govpay හරහා දඩ ගෙවීම ක්‍රියාත්මකයි

බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර තිබේ.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව කියා සිටියේය.

දඩ ගෙවීමේ දී මුදලේ කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, ස්ථානීය වැරදි 33ක් සඳහා Govpay හරහා දඩ ගෙවිම සිදුකළ හැකි අතර, එමඟින් දඩ ගෙවන පුද්ගලයාට තැපැල් කාර්යාලයට ගෙවන මුදල ඉතිරි වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය නිලධාරීන්ට මේ වනවිට පුහුණුව ලබාදී ඇති බව ද පැවසු අමාත්‍යවරයා අද දිනයේ රථ වාහන පොලීසියේ නිලධාරීන් 1000කට දුරකථන ලබාදීමට නියමිත බව ද පැවසීය.

ඩිජිටල් කටයුතු අමාත්‍යාංශයේ දැඩි කැපවීම මත මෙම කටයුත්ත ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට හැකියාව හිමිවූ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ඉදිරි මාස කිහිපය තුළ සෙසු පොලිස් ස්ථානවලට ද දුරකථන ලබාදීමට බලාපොරොත්තු වන බව පැවසු අමාත්‍යවරයා, එවිට මෙම කටයුත්ත ඉතා පහසු වන බව ද පැවසීය.

පුහුණු වැඩසටහන් කිහිපයක් මේ සම්බන්ධයෙන් ඩිජිටල් අමාත්‍යාංශය මඟින් පොලිස් නිලධාරීන්ට ලබාදීමට නියමිත අතර, අගෝස්තු මස 4 වන දිනට පෙර මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර මාර්ග ආරක්ෂාව වැඩිකිරීම සඳහා මධ්‍යම, ඌව සහ සබරගමුව යන පළාත්වල විශේෂ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

2025 – 2026 වර්ෂය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද කරුණු 85කින් සමන්විත ක්‍රියාකාරී සැලැස්මක් සහිත පොත මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා වෙත පිළිගැන්වීම ද මෙම අවස්ථාවේ දී සිදුකෙරුණි.

Leave a Reply

Your email address will not be published.