ඇමති විජිත සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අතර හමුවක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඒ ජිනීවා හී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය අතරතුරදීය.

එහිදී මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා රට තුළ ගෙන ඇති පියවර ක්‍රියාත්මක කිරීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ලබා දිය හැකි සහයෝගීතාවය සහ සහාය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.

මේ සම්බන්ධයෙන් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ආර්ථික, සමාජීය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ඇතුළු සියලුම මානව හිමිකම් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කෙරිණි.

මෙහිදී අමාත්‍යවරයා විසින් මානව හිමිකම් කවුන්සිලය වෙත සිදුකළ ප්‍රකාශයේ සඳහන් කරුණු පිළිබඳව වැඩිදුර තොරතුරු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වෙත ලබා දුන් අතර ඒවා සම්පූර්ණ කිරීම සඳහා රජයට කාලය සහ අවකාශය අවශ්‍ය බව නැවත අවධාරණය කර තිබේ.

එමෙන්ම මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට ලබා දුන් අවස්ථාව සහ රජය විසින් සපයන ලද පහසුකම් වෙනුවෙන් මහ කොමසාරිස්වරයා විසින් සිය සතුට පළ කර ඇති අතර රට තුළ කල් පවතින සංහිඳියාවක් ඇති කිරීමට රජයට ලැබී ඇති ඓතිහාසික අවස්ථාව තවදුරටත් අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published.