ලංකාවේ සියලු ඉඩම් මිනුම් කර කඩිනමින් සිතියම් ගතකිරීමට අවධානය

ශ්‍රී ලංකාවේ පවතින සියලුම ඉඩම්, නිවැරදිව මිනුම් කර කඩිනමින් සිතියම් ගත කර අවසන් කිරීමට කෘෂිකර්ම සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වී තිබේ.

2021, 2022 සහ 2023 යන වසරවල රජයේ සමාගම්, දෙපාර්තමේන්තු, කොමිෂන් සභා සහ මණ්ඩල කිහිපයක වාර්ෂික වාර්තා සහ වාර්ෂික කාර්ය සාධන වාර්තා සලකා බැලීම සඳහා පසුගිය 17 වන දා එම කාරක සභාව එහි සභාපති හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වුණි.

එහිදී මේ පිළිබඳ අවධානය යොමුවු අතර, මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරීහු කාරක සභාවට කරුණු දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, දැනට පුරෝකථනය කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ ඉඩම් කට්ටි මිලියන 16.5 පවතිනු ඇති බවත් ඉන් ඉඩම් කට්ටි මිලියන 2.5 මිනුම් කර සිතියම් ගත කර ඇති බවත්ය.

ඒ අනුව ඉතිරි ඉඩම් කට්ටි හැකි ඉක්මනින් මිනුම් කර සිතියම් ගත කිරීමේ වැදගත්කම අවධාරණය කළ කාරක සභා සභාපතිවරයා ඒ සඳහා අදාළ සියලුම පාර්ශ්ව කාරක සභාවට කැඳවා ගත හැකි ක්‍රියාමාර්ග හා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ද පැවසුවේය.

එමෙන්ම 2022 සහ 2023 වසර සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා ද කාරක සභාවේදී සලකා බලා ඇති බවද සඳහන්ය.

තවද, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් නීත්‍යානුකූල ගිවිසුම්වලට එළැඹීමෙන් තොරව ඉඩම් බදු දීම නිසා පවතින හිඟ බදු පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

Leave a Reply

Your email address will not be published.