යෝෂිතගේ නඩුව කල්යයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබාසිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට නඩු කටයුත්තකට පෙනී සිටිමට සුදුසු මානසික තත්ත්වයක පසුවනවා දැයි හෙට (11) දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් පරීක්ෂා කිරීමට නියමිත බව නීතිපතිවරයා අද (10) කොළඹ මහාධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රජයේ නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා විසින් මෙම දැනුම් දීම සිදුකළේය.

නඩුව අද දින කැදවනු ලැබුවේ යෝජිත පිළිගැනීම් පිළිබඳව සලකා බැලීමටයි.

එහෙත් රජයේ  නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව හා සම්බන්ධිත තවත් නඩුවක් අංක 08 මහාධිකරණය හමුවේ විභාගවන බවය.

එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර ඩේසි ෆොරස්ට් මහත්මියට නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික මට්ටමක් නොමැති බවට ඇයගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් බවත් රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයකින් පසුවනවා දැයි නිගමනය කිරීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් විශේෂඥ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝග කළ බවත් රජයේ අධි නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා කියා සිටියේය. 

එම අධිකරණ නියෝගය පරිදි විත්තිකාරියගේ අදාළ පරීක්ෂණය සඳහා හෙට දින පෙනී සිටීමට නියමිත බවත් රජයේ නීතිඥවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.