තායිලන්ත – කාම්බෝජ යුද්ධය අවසන්

තායිලන්තය සහ කාම්බෝජය අතර ඇතිව තිබෙන යුදමය තත්ත්වය ‘අද සවස සිට බලපැවැත්වෙන පරිදි’ අවසන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

සිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන Truth Social හි සටහනක් තබමින් ට්‍රම්ප් මේ බව පැවසීය.

“අද සවස සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වෙඩිතැබීම් නතර කර මා සමග ඇති කරගත් සාම ගිවිසුමට ආපසු යාමට එකඟ වුණා” ට්‍රම්ප් එහි දක්වා ඇත.

තායිලන්ත අගමැති අනුටින් චාර්න්විරකුල් හා කාම්බෝජ අගමැති හුන් මැනට් යන දෙදෙනා සමගම පැවති දුරකථන සංවාදවලින් අනතුරුව ට්‍රම්ප් මේ බව නිවේදනය කර ඇත.

මේ සම්බන්ධයෙන් තායි අගමැතිවරයා හෝ කාම්බෝජ අගමැතිවරයා අදහස් දක්වා නොමැත.

කෙසේ නමුත් මීට පෙර ට්‍රම්ප් සමග පැවති දුරකථන සංවාදයෙන් පසු චාර්න්විරකුල් මාධ්‍ය හමුවකදී පවසා සිටියේ, සටන් විරාමයක් ඇති වන්නේ කාම්බෝජය වෙඩි තැබීම නවතා, හමුදා ඉවත් කර, ඔවුන් වළදැමූ සියලුම බිම් බෝම්බ ඉවත් කළහොත් පමණක් බවය.

දෙරට අතර ඇතිව තිබෙන මෙම යුද උණුසුම හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ලක්ෂ 5ක පමණ පිරිසක් අවතැන් වී සිටියි.

Leave a Reply

Your email address will not be published.