ශ්‍රී ලංකා රජය සහ යුරෝපා සංගමයඅතර යුරෝ මිලියන 8ක ප්‍රදාන ගිවිසුමක් අත්සන් කර තිබේ.
“කෘෂි හරිත මුලපිරීම – තිරසාර කෘෂිකර්ම පිළිවෙත් තුළින් හරිත ආර්ථික වර්ධනය” යන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ගිවිසුම අත්සන් කළ බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය සහ යුරෝපා සංගමය එක්ව මෙම ව්‍යාපෘතිය සකස් කර ඇත.
එය ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණයෙන්ම යුරෝපා සංගමය විසින් සපයන යුරෝ මිලියන 8ක ප්‍රදානය මඟින් මූල්‍යනය කෙරේ.
මෙම ව්‍යාපෘතිය මගින් තිරසාර පරිභෝජන හා නිෂ්පාදන පිළිවෙත් ප්‍රවර්ධනය කිරීමත්, ආහාර සුරක්ෂිතතාව සහතික කරන හරිත ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව පරිවර්තනය වීමට සහාය වීමත් අරමුණු කර ගෙන ඇත.
එසේම, තරුණයින් සහ කාන්තාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, රබර් අංශයේ තෝරාගත් නිෂ්පාදන දාමයන් තුළ වඩාත් තිරසාර සහ පාරිසරික වශයෙන් හිතකාමී කෘෂිකාර්මික පිළිවෙත් වෙත මාරුවීමක් උත්ප්‍රේරණය කිරීමද ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.
මෙම ප්‍රදාන ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ යුරෝපා සංගමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ සහයෝගීතා ප්‍රධානී ආචාර්ය Johann H. Hesse මහතා විසින් නිල වශයෙන් හුවමාරු කර ගනු ලැබීය.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන වටිනා සහයෝගයට අවංක කෘතඥතාව පළ කළ අතර, මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රයට මෙන්ම වෙළෙඳපොළ කේන්ද්‍ර කරගත් අගය එකතු කිරීම සහ වැඩිදියුණු කළ ඒකාබද්ධතාවය මඟින් අපනයන වෙළඳපොළ සංවර්ධනය කිරීමේ ජාතික ප්‍රයත්නයට මැනවින් සමපාත වන බවද අවධාරණය කළේය.
තවද, මෙම ගිවිසුම ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින ශක්තිමත් සහ අඛණ්ඩ හවුල්කාරිත්වයට සාක්ෂියක් වන අතර, පාරිසරික තිරසාරභාවය, සමතුලිත වර්ධනය සහ දිගුකාලීන ආර්ථික ප්‍රත්‍යස්ථතාවය සවිබල ගැන්වීම සඳහා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවද ඔහු සඳහන් කළේය.


