කුලී කාමරයක රැඳීසිටි අයෙකුව පහරදී ඝාතනය කරයි 

කුලී පදනම මත කාමරයක රැඳීසිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් බියගමින් වාර්තා වෙයි.

පොලීසිය සඳහන් කළේ, බියගම පොලිස් වසමේ ගැමුණු මාවත ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රී කාලයේ මෙම සිදුවීම ඇතිවී තිබෙන අතර ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයාව මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු කුලී පදනම මත බියගම පොලිස් වසමේ පදිංචිව සිට ඇති අතර ඔහුට අයත් ත්‍රීරෝද රථය නවාතැන් ගෙන සිටි කාමරය ඉදිරිපිට ගිනි ගැනීමට ලක්වී ඇති බව දැක කාමරයෙන් ඉවතට පැමිණීමේදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී පලා ගොස් ඇති බවට දැනට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘතශරීරය මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. 
මෙම ඝාතනය සිදු කළ සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බියගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.