බස් රථයක් හා යතුරු පැදියක් ගැටී පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

මින්නේරිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් යතුරු පැදියක් ඉස්සර කිරීමට යෑමේදී බස් රථය යතුරු පැදියේ ගැටී පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය දාසය හමාර ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රියේදී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස්  තවත් පුද්ගලයෙකු තුවාල ලබා  ඇත.

බස් රථ රියදුරු විෂ මත්ද්‍රව්‍ය පානය කළ සිටි බවට පොලීසිය අනාවරණය කර ගෙන ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ යතුරු පැදියේ පසු පස ගමන් කර ඇති හැදල වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක පුද්ගලයෙකි. 

ඔහු මින්නේරිය සී.පී.පුර ප්‍රදේශයේ පිහිටි සත්ත්ව ගොවිපළක සේවයේ නියුතු පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පසුපැදිකරු ප්‍රදේශවාසීන් හා පොලීසිය මැදිහත්ව ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු මෙලෙස මිය ගොස් ඇත.

අනතුරින් රත්නපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ක් වන යතුරුපැදිකරුද තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටියි. 

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය හා යතුරු පැදිය මින්නේරියේ සිට ගිරිතලේ දෙසට එකම දිශාවට ධාවනය කර ඇති බවත් බස් රථය අධික වේගයෙන් අපරික්ෂාකාරී ලෙසට යතුරු පැදිය ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවත් මින්නේරිය පොලීසිය පවසයි.

මේ අතර අනතුර සම්බන්ධයෙන් කදුරුවෙල පදිංචි 39 හැවිරිදි බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ගංජා පානය කර සිටි බවට කරුණු අනාවරණය වී ඇති බව මින්නේරිය පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා ලද බස් රථ රියදුරු මින්නේරිය පොලීසිය විසින් අද (09)  හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලිස් රථ වාහන අංශ නිලධාරීන් සිදුකරගෙන යනු ලබන බව සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published.