දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සිරදඬුවම් නියම කර තිබෙන හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අද (11) තුන් වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ආරම්භ වුණි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙයි.
එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, අර්ජුන ඔබේසේකර, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරු කටයුතු කරයි.
අද නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරියන් විසින් කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.
විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය වෙනුවෙන් පෙනීෙසිටි නීතිඥවරුන්ගේ දේශන ඊයේ දින අවසන් කෙරුණි.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා සතොස ආයතනය හරහා කැරම් බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කර එම කාර්යාලවලට බෙදා දීම තුළින් රජයට රුපියල් කෝටි හයකට ආසන්න පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු පවරා තිබුණි.
එම නඩුව විභාග කළ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අදාල චෝදනාවට විත්තිකරුවන් වරදකරු කරමින් මහින්දානන්ද අලුත් ගමගේ මහතාට වසර 20ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් සහ නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩ සහිත වසර 30 ක සිරදඬුවම් නියම කළේය.
එම දඬුවම් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා එම හිටපු අමාත්‍යවරු විසින් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.


