වසරකට ආසන්න කාලයක් අතුරුදන්ව සිටි සඳුන් නොහොත් ‘හාවා”ගේ සිරුර ගොඩගනි

පානදුර අධිකරණයේ විභාග වන මනුෂ්‍ය ඝාතන සිද්ධියක ඇසින් දුටු ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන සදුන් උදාර අල්විස් හෙවත් “හාවා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන 31 හැවිරිදි විවාහක පුද්ගලයා ඝාතනය කර හොරණ තිබ්බොටුගොඩ සුසාන භූමියේ වල දමා සගවා ඇති බවට අනාවරණය වීමෙන් පසු එම ස්ථානයේ මළ සිරුර ගොඩ ගැනීමේ කටයුතු හොරණ මහේස්ත්‍රාත් ලක්මිණි විදානගම සහ හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සදකැළුම් වඩුගේ ඉදිරියේ අද (06) සිදු කෙරුණා.

ඒ, දාමිල්ලනිය ප්‍රාදේශීය සභාවේ කම්කරුවන් විසින් මිනී වල හැරීමෙන් කටයුතු ආරම්භ කරමින්.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත් අඩංගුවට ගත් ඇඹිලිපිටිය හා පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු අනාවරණය වී තිබුණා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇඹිලිපිටියේ පුද්ගලයා වන අතර කිරිබේරියේ පදිංචි පුද්ගලයා “මොණරා” නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

ඔහු හිටපු යුධ හමුදා කොමන්ඩෝ සෙබලෙකු බව අනාවරණය වී තිබෙනවා.

ඝාතනය වූ පුද්ගලයා පානදුර, කිරිබේරිය, ගල්පොත්ත පාර ලිපිනයේ පදිංචිකරුවෙකු වන අතර කිරිබේරිය ත්‍රීරෝද රථ ගාලේ කුලී ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කළ අයෙක්.
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන වන පානදුර සලිඳු හා නිලංග හෙවත් “මාළුවා” අතර ඇති වූ ප්‍රශ්නයක් මුල් කරගෙන නිලංගගේ කල්ලිය විසින් මෙම ඝාතනය සිදු කර තිබෙන බව පොලිසිය පවසනවා.

සලිඳුගේ උපදෙස් මත ඔහුගේ සමීපතම ගෝලයකු වන නිලංග හා ඔහුගේ ගෝලයන් හතර දෙනෙකු එකතුව ඉකුත් 2021 ජුලි මස 11 වන දින පානදුර දකුණ වසමේ පිංවල සුසාන භූමියේදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති අතර එම සිද්ධියේ ඇසින් දුටු සාක්ෂිය වන්නේ සදුන් හෙවත් ‘හාවා’ නමැති ඝාතනය වූ මෙම පුද්ගලයා බව අනාවරණය වී ඇතැයි පොලිසිය පවසනවා.

එම නඩුවේ සාක්ෂි විනාශ කිරීම සදහා කුලී ගමනක් යන මුවාවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් මොහුව පැහැරගෙන ගොස් තිබිණා.

තම සැමියා අතුරුදන් බවට ඔහුගේ බිරිඳ වන චතුරි ලක්ෂාණි විසින් ඉකුත් 2024 අගෝස්තු මස 03 දින හිරණ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කලත් ඔහු පිළිබද තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබුණා.

ඉන්පසු ඔහුගේ බිරිඳ හා පියා විසින් පොලිස්පතිවරයාට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරයක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගලට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් මෙහි විමර්ශන කටයුතු භාර දීමට කටයුතු කර ඇති අතර ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ සැළසුමකට අනුව පොලිස් පරීක්ෂක චතුරංග,උප පොලිස් පරීක්ෂක ජයවීර ඇතුළු නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස මෙය පැහැරගැනීමක් නොව ඝාතනයක් බවත් ඔහුගේ සිරුර තිබ්බොටුගොඩ සුසාන භූමියේ වල දමා ඇති බවත් එයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමෙන් තහවුරු කර ගෙන තිබුණා.

වෑන් රථයකින් පැමිණි සැකකරුවන් අක්කර 99 නැමැති කැලෑබද ප්‍රදේශයක දී සඳුන් ඝාතනය කිරීමත් සමඟ ‘මොණරා’ නැමති සැකකරු විසින් ඉතා සූක්ෂම ලෙස සඳුන් පැමිණි ත්‍රීරෝද රථය එම ස්ථානයෙන් ඉවත් කර ගෝනපල, ඔලබොඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබා දී තිබූ බවට අනාවරණය වුණා.

එම පුද්ගලයා විසින් එහි චැසි අංකය හා එංජින් අංකය වෙනස් කර වර්ණයද වෙනස් කර පාදුක්ක ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක ළඳු කැලෑවක සඟවා තිබියදී ත්‍රීරෝද රථය සොයාගෙන ඇති අතර එම පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉන්පසු ඝාතනය කළ පුද්ගලයාගේ සිරුර වෑන් රථයේ දමාගෙන පැමිණි සැකකරුවන් සිරුර තිබ්බොටුගොඩ සුසාන භූමියේ වල දමා සගවා ඇති බව අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 07 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.