ඉරානය එක රැයකින් විනාශ කරන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීම්

ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබාදී ඇති කාලය අද (07) රාත්‍රී 8න් අවසන් වන බවය.

ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබේ.

අද රාත්‍රී 8 වන විට තමාට පිළිගත හැකි ගිවිසුමකට එළඹීමට ඉරානය අපොහොසත් වන්නේ නම් ඉරානයට එරෙහිව දැඩි විනාශකාරී ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

මධ්‍යම රාත්‍රිය වන විට ඉරානයේ පාලම් සහ බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ කර ඉරානය ගල් යුගයකට ගෙන යාම සිදුකරන බව ඔහු පවසා ඇත.

අදින් පසුව ඉරානයට යළි කිසිදු සහන කාලයක් ලබා නොදෙන බව ද අවධාරණය කරන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම යුද්ධයට සහය නොදැක්වූ රටවලට ද චෝදනා එල්ල කර තිබේ.

පැය එකහාමාරක පමණ කාලයක් පැවති එම මාධ්‍ය හමුවේ දී ඉරානය විසින් පහරදී විනාශ කළ අමෙරිකානු ප්‍රහාරක යානයේ සිටි හමුදා සෙබලා බේරාගැනිම සදහා සිදුකළ මෙහෙයුම පිළිබද අමෙරිකානු ජනාධිපතිවරයා දීර්ඝ ලෙස විස්තර කර ඇති බව ද වාර්තා වේ.

එම මෙහෙයුම අති භයංකාර මෙහෙයුමක් වූ අතර මෙහෙයුම සාර්ථක කර ගැනීම සදහා දිවි පරදුවට තැබූ හමුදා සෙබලුන්ට සිය උත්තමාචාරය පිරිනමන බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

මේ අතර මැදපෙරදිග යුධ ගැටුම් අවසන් කිරීම සදහා ඉදිරිපත් වූ තාවකාලික සටන් විරාමය ඉරානය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

පකිස්තානය විසින් ඉදිරිපත් කළ අදාළ සටන් විරාම යෝජනාවට ඉරානය නිල වශයෙන් ප්‍රතිචාර දක්වා ඇති අතර සටන් විරාමයක් වෙනුවට යුද්ධය ස්ථීර වශයෙන්ම අවසන් කිරීමේ අවශ්‍යතාවය එහිදී ඔවුන් පෙන්වා දී තිබේ.

ඒ සදහා ඉරානය විසින් වගන්ති 10කින් සමන්විත යෝජනාවලියක් ද ඉදිරිපත් කර ඇති බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published.