ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ නව ගිවිසුමකට මාර්තු මුල වනවිට එක් නොවන්නේ නම්, ඉරානයට පහරදෙන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් තහවුරු කර තිබේ.
මේ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ සංවිධානය ඉරානයෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ඉඩදෙන ලෙසය.
මැදපෙරදිග කලාපයේ උත්සන්න වන මෙම නොසන්සුන්තාව මධ්‍යයේ ඊශ්‍රායලයේ තම තානාපති කාර්ය මණ්ඩලයේ කොටසකට ඉන් පිටව යාමට අමෙරිකාව ඊයේ (27) අවසර ලබාදී ඇත.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබීමෙන් පසු අත්‍යාවශ්‍ය නොවන කාර්ය මණ්ඩලයට සහ තානාපති කාර්යාල සේවකයින්ගේ පවුලේ සාමාජිකයින්ට එලෙස ඊශ්‍රායලයෙන් පිටව යා හැකි බව දැනුම්දී ඇත.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මැඩපැවැත්වීම සඳහා කරගෙන යන සාකච්ඡා අසාර්ථක වුවහොත්, ඉරානයට පහරදෙන බවට ජනාධිපති ට්‍රම්ප් තර්ජනය කර ඇති පසුබිමක මැද පෙරදිග කලාපයට දැවැන්ත යුද නැව් සහ ගුවන් යානා සමූහයක් අමෙරිකාව මේ වනවිටත් යවා තිබේ.
ඉරානයට පහර දුන්නොත් කලාපයේ අමෙරිකානු කඳවුරුවලට පහරදෙන බවට ඉරානයද තර්ජනය කර ඇති අතර, අමෙරිකානු මිත්‍ර රාජ්‍යයක් වන ඊශ්‍රායලයට එරෙහිවද මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ද ඉඩ ඇති බව සඳහන්ය.
එම ‘ආරක්ෂක අවදානම’ සැලකිල්ලට ගෙන මෙලෙස අමෙරිකානු තානාපති කාර්යාල සේවකයින්ට ඊශ්‍රායලයෙන් පිටව යාමට අවසර ලබාදී ඇත.
මේ අතර ජර්මනියේ විදේශ අමාත්‍යාංශයද ඊයේ සිය පුරවැසියන්ට ඊශ්‍රායලයට සහ නැගෙනහිර ජෙරුසලමට ගමන්කිරීම වහාම නවතන ලෙස දැනුම්දී තිබේ.
ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන ඊශ්‍රායලයට සංචාරය නොකරන ලෙස ප්‍රංශ විදේශ අමාත්‍යාංශය ද තම පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත.
ඊශ්‍රායලයේ චීන තානාපති කාර්යාලයද තම පුරවැසියන්ට දැඩි සුපරීක්ෂාකාරීව සිටින ලෙස දැනුම් දී ඇති අතර, ඉරානයේ සිටින තම පුරවැසියන්ට ‘හැකි ඉක්මනින්’ ඉවත්වන ලෙසත් පවසා තිබේ.
මේ අතර එක්සත් රාජධානියේ විදේශ කාර්යාලයද තම තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය තාවකාලිකව ඉරානයෙන් ඉවත් කරගෙන ඇත.


