බෞද්ධ ඉතිහාසයේ අතිශය වැදගත් සුවිශේෂී සිදුවීම් රැසක් සිහිපත් කෙරෙන ඇසල පුර පසළොස්වක පොහොය දිනය අදට (ජූලි 29) යෙදී තිබේ.
බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරු උපත ලැබීම සහ සිද්ධාර්ථ කුමාරයන් මහාභිනිෂ්ක්රමණය කිරීම (ගිහිගෙය හැරදා යාම) යන මූලික සිදුවීම් ඇසල පුන් පොහොය දිනයක සිදුවූ බව බෞද්ධ ග්රන්ථවල සඳහන් වේ. මීට අමතරව, බුදුරජාණන් වහන්සේ ප්රථම වරට පස්වග තවුසන් වෙත ‘ධම්මචක්කප්පවත්තන සූත්රය’ දේශනා කරමින් උතුම් ධර්මය දේශනා කිරීම සහ ප්රථම ධර්ම දූත පිරිස බිහිවීමද සිදු වූයෙ මෙවන්මෙ පෝය දිනකය.
ශ්රී ලංකාව තුළ ඇසල පුන් පොහොය යනු වාර්ෂික ඇසල පෙරහැර මංගල්යයන්ගේ ආරම්භය සනිටුහන් කරන කාලසීමාවකි. ඒ අනුව දිවයිනේ ප්රධාන විහාරස්ථාන මුල්කරගනිමින් විවිධ ආගමික වැඩසටහන්, දහම් පාසල් පිංකම් සහ සිල් සමාදන් වීමේ වැඩසටහන් සංවිධානය කර ඇත.


