කුලියාපිටිය පොලිස් වසමේ පහල දියදොර මාදරවත්ත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව, එහි අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සිදුකළ රහසිගත පරීක්ෂණයකින් පසුව අද (31) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.
මෙම වැටලීමේදී නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා මිලි ලීටර් 7,560,000ක් අඩංගු බැරල් 40ක්, කසිප්පු මිලි ලීටර් 187,500ක් අඩංගු බෝතල් 250ක්, වට 07කින් යුතු තඹ දඟර 02ක්, ගෑස් ලිප් 02ක් සහ කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර් 04ක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර නීතිමය කටයුතු සඳහා කුලියාපිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
පොලීසිය විසින් සොයාගත් මෙම ගෝඩා පෙරීමට ලක්කර, නිෂ්පාදනය කරන නීතිවිරෝධී මත්පැන් ප්‍රදේශය පුරා බෙදා හැරීමට සැලසුම් කර තිබූ බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.


