විශ්වවිද්‍යාල පද්ධතියේ ගැටලුවලට විසඳුම් ඉල්ලා සරසවි ආචාර්යවරුන් දැඩි තීරණයක

විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු සඳහා ස්ථීර විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වීම හේතුවෙන් හෙට දිනයේදී විරෝධතාවක් පැවැත්වීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය පවසයි.

එම සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිහ මහතා පැවසුවේ හෙට (02) දිනයේදී දිවා විවේක කාලය තුළදී සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්වයරු එක්ව මෙම විරෝධතාවයේ නියැලීමට තීරණය කළ බවය.

එමෙන්ම මේ සඳහා විසඳුම් ලබා දීමට අපොහොසත් වන්නේ නම් එළැඹෙන සතිය වන විට මෙම විරෝධතා ව්‍යාපාරය තවදුරටත් තීව්‍ර කිරීමටද කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

චාරුදත්ත ඉලංගසිහ මහතා පැවසුවේ රජය බලයට පත්වීමත් සමග රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කළ බවත් ඒ සඳහා යෝජනාවලියක්ද රජයට ලබා දුන් බවත්ය.

කෙසේ නමුත් රජය විසින් එම යෝජනා සඳහා හෝ සාකච්ඡාවලින් එළැඹෙන එකඟතා ක්‍රියාත්මක නොකරන තත්ත්වකට පත්ව ඇති බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

තවද මෙම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය සමගද සාකච්ඡා කළ බවත් පැවසූ ඒ මහතා ජනාධිපතිවරයා සහ අගමැතිවරිය වෙත ලිඛිතවද රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කළ බවද පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් මේ වන තුරුත් එම ගැටලු සඳහා විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවත් පැවසූ ඒ මහතා මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් රැසක් සේවය හැරගොස් ඇති බවද සඳහන් කළේය.

2015 වසර වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළට වසරකට ශිෂ්‍යන් 25,000ක ප්‍රමාණයක් බඳවා ගනු ලබන බවත් මේ වන විට එය වසරකට ශිෂ්‍යන් 45,000ක් දක්වා වර්ධනය වී ඇතැයිද පැවසුවේය.

කෙසේ නමුත් 2015 වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආචාර්යවරුන් 5,800ක් සිටි නමුත් මේ වන විට ඉන් 1,000කට ආසන්න ප්‍රමාණයක් විශ්වවිද්‍යාලය හැර ගොස් ඇති බවත් පැවසීය.

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්වවිද්‍යාලීය ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා,

“පහුගිය වසර කිහිපය තුළ විශාල වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු විශ්වවිද්‍යාලය හැර ගියා. මේ වනකොට යම් ප්‍රමාණයක් බඳවා ගැනීම් විවෘත කරලා තිබුණත් ඒ තනතුරුවලට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අයදුම් කරන්නේ නැති තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය බිඳ වැටෙනවායි කියන්නේ මේ රටේ අනාගතය බිඳ වැටීම. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ මේ පිළිබඳව කන් දෙන්න බැරිනම් අපි ලෑස්තියි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළැඹෙන්න. අපි වසර දෙකකට ආසන්න ප්‍රමාණයක් මේ සම්බන්ධව සාකච්ඡා කළා. විසඳුමක් නැති තැන අපි මේ වෙනකොට තීරණය කරලා තියෙනවා හෙට දවසේ දිවා විවේක කාලයේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරු විරෝධතා දක්වන්න. හැබැයි හැබැයි මේ පටන් ගන්න විරෝධතා ව්‍යාපාරය ආණ්ඩුව මේවට විසඳුම් දෙන තුරු අඛණ්ඩව පවත්වන්න අපි තීරණය කරලා තියෙනවා.”

Leave a Reply

Your email address will not be published.