ගතවූ පැය 24ක කාලය තුළ කඩුගන්නාව සහ කිරිඳිවැල පොලිස් වසම්වලින් මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (29) මෙම ඝාතන සිදුව තිබේ.
කිරිඳිවැල පොලිස් වසමේ ඉඹුලහේන ප්‍රදේශයේ නිවසක් තුළදී 75 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී නිවස තුළ තිබී මරණකාරියගේ සැමියා විසින් ලියන ලද බවට සැක කෙරෙන ලිපියක් හමුවූ බවය.
ඒ අනුව මෙම ඝාතනය මරණකාරියගේ සැමියා විසින් සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධියෙන් අනතුරුව සැකකාර සැමියා වේයන්ගොඩ පොලිස් වසමේදී දුම්රියට පැන සියදිවි නසාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
මරණකාරියගේ සහ සැකකරුගේ මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මේ අතර, කඩුගන්නාව පොලිස් වසමේ බැලුන්ගල ප්‍රදේශයේදී බියර් බෝතලයකින් පහරදී තුවාල ලැබූ 39 හැවිරිදි පුද්ගලයෙකු පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මරණකරු සහ ඔහුගේ සහෝදරියගේ පුත්‍රයා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් බීර බෝතලයක් බිඳ මරණකරුගේ පපු ප්‍රදේශයට ඇන මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු ද සුළු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධීන් සම්බන්ධයෙන් කිරිඳිවැල සහ කඩුගන්නාව පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.


