ගාල්ලේ නීතිඥයෝ පොලීසියේ රෙදි ගලවයි

ශ්‍රී ලංකා ඕස්ටේලියා පළමු ටෙස්ට් තරගය පැවැත්වෙන අතර වාරයේ ගාල්ල නීතිඥ සංගමයේ සාමාජිකයින් පිරිසක් අද ගාල්ල කොටු බැම්ම මත සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමට සුදානම් වනවාත් සමග පොලිසිය විසින් ගාලු කොටුවට ඇතුළු වන ප්‍රධාන මාර්ග යකඩ බාධක යොදා වසා දමා මෙම නීතිඥ පිරිසට සහ ඔවුන් සමග පැමිණි විරෝධතාකරුවන්ට ගාලු කොටු බැම්මට ඇතුළුවීමට අවසර නොදෙමින් බාධා සිදු කර තිබෙනවා.

එහි දී පැමිණි නීතිඥයින් විසින් ඔවුන්ගේ මග අහුරා මාර්ග බාධක යොදා සිටි පොලිස් නිලධළධාරීන් හට දැඩි විරෝධයක් එල්ල කළා.

එහි සිටි ගාල්ල පොලිස් අධිකාරීවරයාට දැඩි විරෝධයක් එල්ල කළ විරෝධතාවයේ නිරතව සිටි නීතිඥයන් කියා සිටියේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහජනතාවගේ භාෂණයේ සහ සංචරණය කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට පොලිීසිය නීතියෙන් බැඳී ඇති බවයි.

පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම් සහ සියලු පහසුකම් ලබා දෙනුයේ මහජනතාවගේ බදු මුදලින් බවත් පොලිසියේ මූලික රාජකාරිය විය යුත්තේ මහජනතාව ආරක්ෂා කිරීම මිසක් පවතින රජය හෝ රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීම නොවන බවත් ඔවුන් පෙන්වා දුන්නා.

මෙහි දී පැමිණි සිටි නීතිඥ පිරිස සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණු අතර, කෙසේ වෙතත් මේ පිරිසට ගාලු කොටු බැම්ම තුළට පිවිසෙන්නට පොලිසිය අවසර ලබාදුන්නේ නැහැ.

කෙසේ වෙතත් මෙම විරෝධතාව පැවැත්වෙන අතර වාරයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේලියානු කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගය නිමා වූ බැවින් විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පිටත්ව යන ලදි

Leave a Reply

Your email address will not be published.