බස් රථ 75%ක් පාරට දමන තුරු ගාස්තු වැඩි කිරීම අසාධාරණයි

ඉන්ධන හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථවලින් සියයට 90ක් ධාවනය කළ නොහැකිව මඟීන් අසීරුතාවට පත්ව සිටින අවස්ථාවක බස් ගාස්තු වැඩි කිරීම අසාධාරණ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

බස් ගාස්තු වැඩි කිරීමේ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ වරදක් නැතත් වැඩි වන ගාස්තුව ක්‍රියාත්මක වීම ඉන්ධන ලැබී බස්රථවලින් සියයට 75ක්වත් ධාවනය වීම ආරම්භ වන තුරු කල්දැමීම වඩාත් සුදුසු බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ කොඩිව් වසංගතය පැවති සමයේ ආසන සංඛ්‍යාවට මගීන් ගෙන යෑම සඳහා වැඩි කළ බස් ගාස්තුවත් සමඟ වැඩි වූ බස් ගාස්තුවක් බව කී විජේරත්න මහතා දැන් වහලයේ සහ බස් රථ පිටුපස එල්ලී යන මගියාත් ආසන ගාස්තුව ගෙවිය යුතුව ඇතැයි කීවේය.

පවතින තත්ත්වය දෙස බැලීමේදී ඇත්තේ දැඩි කලකිරීමක් බවත් අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා වැඩි කළ විට බොහෝ මගීන් එම දුර පයින් යෑමට පෙළඹීමෙන් බස් කර්මාන්තයට ගැටලු ඇති විය හැකි බවත් කී සභාපතිවරයා දැන් තමන්ට ද අරගල භූමියට යෑමට සිතී ඇතැයි පැවසීය.

රට තුළ ඉන්ධන නැති අවස්ථාවක ඉන්ධන මිල වැඩි කළ ආණ්ඩුව බස් ධාවනය නොවන අවස්ථාවක බස් ගාස්තු ද වැඩි කර ඇතැයි කී සභාපතිවරයා මෙවැනි ආණ්ඩුවකින් රටට පලක් නැතැයි ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.