ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය – ඔස්ට්‍රේලියාවට කඩුලු 10කින් ජය

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ඊයේ තෙවැනි දින දිවා විවේකය වෙද්දී ඔස්ට්‍රේලියාව කඩුලු 10කින් ජය ගෙන තිබිණි. දින 5ක ටෙස්ට් තරගයේ හරි අඩක් වූ තෙවැනි දින දිවා විවේකයට තරගය නැවැත්වීමේ කාලය උදා වුවද ඔස්ට්‍රේලියාවට දෙවැනි ඉනිමේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 5ක් වැනි සුළු ලකුණු ගණනක් අවශ්‍යව තිබූ බැවින් තරගය අඛණ්ඩව පැවැත්වීමට විනිසුරුවෝ තීරණය කළහ.

පන්දු 4 කින් ඔස්ට්‍රේලියා දෙවැනි ඉනිම නිමා කළ ඩේවිඩ් වෝනර්, හයේ පහරකින් සහ හතරේ පහරකින් රමේෂ් මෙන්ඩිස්ට බැටදී කඩුලු 10ක ජයක් කරා ඔස්ට්‍රේලියා පිල රැගෙන ගියේය. එබැවින් තරග දෙකකින් සමන්විත වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම 1-0ක් ලෙස දැන් පෙරමුණ ගෙන සිටී.

පන්දුව එහෙට මෙහෙට දඟ කැවීම පමණක් නොව එකවරම තණතිල්ලේ වැදී ඉපිලී වේගයෙන් පැමිණීම පිතිකරුවෝ අමාරුවේ වැටීමට ප්‍රධාන හේතුව විය. ශ්‍රී ලංකාව නිත්‍ය දඟ පන්දු යවන්නන් තිදෙනකු යොදා වැඩි වාසි ගැනීමට උත්සාහ කළ ද එය පාරාවළල්ලක් විය. ශ්‍රී ලංකාවට වාසි වන පරිදි දඟ පන්දු යවන්නන් වෙනුවෙන් සැකසූ ගාලු තණතිල්ලේ අවසානයේ අමාරුවේ වැටුණේ ශ්‍රී ලංකා පිලය.

මේ ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ පෙරේදා අයහපත් කාලගුණය හේතුවෙන් මුල් පැය තුනක කාලයක් අපතේ ගිය අතර, දෙපිලම මුළු තරගයේදී ඕවර 152.4ක් යැවීය. එහෙත් ටෙස්ට් තරගයකදී දින දෙකක් තුළ ඕවර 180ක් යැවීම අනිවාර්ය බැවින් මෙය ඕවර ගණන හා සසදන කල්හී දින දෙකකටත් අඩුවෙන් නිමා වූ තරගයක් ලෙස කිසිවකු හෝ හැඳින්වුවහොත් එයද නිවැරිදිය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 113කට සුනුවිසුණු කිරීමට ඔස්ට්‍රේලියාවේ දඟ පන්දු යවන්නන් සමත් වූ අතර, එම ලකුණු ගණන ගාලු පිටියේ ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ දෙවැනි අඩුම ලකුණු ගණන විය. 2011දී පැවති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව මේ පිටියේ ලකුණු 105කට දැවී ගියේය. එම තරගය ද ඊයේ නිමා වූ තරගයේ කාබන් කොපියක් බඳු වූ අතර, එදා දඟ පන්දු යවන ක්‍රීඩක නෙදන් ලියෝන් කඩුලු 6ක් බිඳ හෙළා දස්කම් දැක්වීය.

මෙවර තරගයේදීද ලියෝන් ඉනිම දෙකේදී ලකුණු 121කට කඩුලු 9ක් ගත්තේය. ටෙස්ට් තරග 26කට ක්‍රීඩා කර සිටියද එකදු කඩුල්ලක් හෝ දවාගෙන නොසිටි දකුණත් පිට දඟ පන්දු යවන ට්‍රැවිස් හේඩ් ඊයේ පන්දුව අතට ගෙන ශ්‍රී ලංකාවේ තීරණාත්මක කඩුලු 2ක් සමඟ කඩුලු 4ක් බිඳ හෙළීය. දිනේෂ් චන්දිමාල්ට එවූ පන්දුවට ඉදිරි පාදයේ ආරක්ෂාකාරී වීමට යෑමේදී පිත්ත හා පා ආවරණ අතරින් රිංගා ගිය පන්දුව කඩුල්ලේ වැදුණු අතර, එසැනින් ම ධනංජය ද සිල්වා කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගත්තේය.

ඔස්ට්‍රේලියානු පිල පළමු ඉනිමට ලකුණු 313ක් රැස් කර සිටියදී ඊයේ තරගය ආරම්භ කළ අතර, අසිත ප්‍රනාන්දු තම 9 වැනි ඕවරයේ පන්දු 5ක් තුළදී අගනා යෝකර් පන්දුවක් ද සමඟ ඉනිම ලකුණු 321දී අවසන් කළේය.

ගාලු තණතිල්ල ප්‍රබල ලෙස දඟ කැවෙන බැවින් ආක්‍රමණය පිළිබඳ විශ්වාසය තැබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රහාරාත්මක ක්‍රීඩාව අනුගමණය කරමින් ඉදිරියට පැන පිතිකරණයේ යෙදීම කඩා වැටීමට ප්‍රධානතම හේතුව විය. දෙපැත්තට දඟ කැවෙන තණතිල්ලේ ආරක්ෂාකාරී වීම ඉතා දුෂ්කර බැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ තීරණයට එළැඹි බව පැහැදිලිය.

ලකුණු 109ක අවාසියක්ද සමඟ ආරම්භ වූ ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක දිමුත් කරුණාරත්න ලියෝන්ගේ පන්දුවකට දැවී ගිය අතර, එවිට ලකුණු පුවරුව ලකුණු 37ක් විය. දිමුත් පන්දු 20කදී හතරේ පහර 5ක් සමඟ ලකුණු 23ක් රැස් කළ අතර, පැතුම් ස්වෙප්සන්ගේ පන්දුවකට ලකුණු 14කට දැවී ගියේය. කුසල් මෙන්ඩිස් හා කොරෝනා වැලඳුණු මැතිව්ස් වෙනුවට ආදේශ වූ ඕෂධ ලකුණු පුවරුව 63ක් වෙද්දී ක්‍රීඩා ගාරයට ගොස් හමාරය. ඉතිරි කඩුලු 6ම ලකුණු 50ක් එක්වෙද්දී එකා පිට එකා දැවී ගියහ. අවසන් පිතිකරුවන් 5ක් අතුරින් ලකුණු 8ක් හෝ ලැබුවේ මංගල ටෙස්ට් තරගයට එක් වූ වැන්ඩර්සේ පමණි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම මිනිත්තු 112ක් වැනි කෙටි කාලයකදී සුනුවිසුණු වී ගියේය. ඔස්ට්‍රේලියා පළමු ඉනිම අමාරුවේ වැටෙන්නට ඔන්න මෙන්න තිබියදී මුක්කුවක් වෙමින් ලකුණු 77ක් රැස් කළ කැමරුන් ග්‍රීන් තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

Leave a Reply

Your email address will not be published.