පාතාලයෙන්ම වෙඩි කෑ පොලිස් අත්තනායක

බැරල් සංඛගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබල ඉත්තෙක්

ගණේමුල්ල සංජීවගේ සහ ළහිරුගේ තවත් පාතාල මෙහෙයුමක්

පෑලියගොඩ පාතාලයේ තවත් බිල්ලක්

කිරිබත්ගොඩ නගරයට නුදුරින් වූ ස්ථානයක පිහිටි එක්තරා ගොඩනැඟිල්ලකි. මේ ගොඩනැඟිල්ලේ අඳුරු මුල්ලක මත්පැන් පානය කරමින් සිටින කිහිප දෙනෙකි. මෙය සාදයක් නොව රහසිගත සාකච්ඡාවක් කීවොත් නිවැරදිය.

කණ්ඩායමේ නායකයා වූයේ බැරල්සංඛය. පෑලියගොඩ පාතාලයේ කෙළිකාරයකු වූ බැරල් සංඛ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද වූයේය.

අත්තනායක නමැති පොලිස් නිලධාරියා ද බැරල්සංඛ සමග මේ සාකච්ඡාවට සම්බන්ධ වී සිටියේය. ඒ වනවිට අත්තනායක රාජකාරි කරමින් සිටියේ පෑලියගොඩ පොලිසියට අනුයුක්තව පෑලියගොඩ ශාන්ත ජෝන් මාළු වෙළෙඳපොළහිය.

අත්තනායක මල්ලි උඹ පොලිසියේ රාජකාරි කළාට උඹ දැන් අපේ එකෙක්. උඹ පොලිසියෙ වැඩවලට වැඩිය අපේ වැඩවලට උදව් කරන බව මං දන්නවා. මත්පැන් වීදුරුවක් කටේ හලා ගනිමින් බැරල්සංඛ කීවේය.

‘ඒ ගැන කිසි අවිශ්වාසයක් තියාගන්න එපා සංඛ අයියා ඇත්තම කියනව නම් මම පොලිසියට වැඩිය උඹලට වටිනවා.’

සංඛ කියූ සියල්ල සනාථ කළ අත්තනායක පෙරළා පිළිතුරු දුන්නේය.

‘මල්ලි උඹ දන්නවනෙ ඩී මංජුවයි මායි අතරේ තියන ආරවුල්. අපි දෙන්නම කරන්නෙ එකම බිස්නස්. අනික දෙන්නකුට එක ඒරියා එකක පාතාල රජවරු වෙන්න බැහැ. එක්කො ඌ යන්න ඕනෙ. නැත්නම් මං මෙතනින් අයින් වෙන්න ඕනෙ. ඌටයි මටයි ලොකු ඇරියස් එකක් තියනවා. මං ඉස්සර නොවුණොත් මට කන්න වෙනවා. ඒ නිසා අපි පොඩි ප්ලෑන් එකක් ගහලා තියෙන්නෙ.’

බැරල්සංඛ තම අවශ්‍යතාව එකින් එක පැහැදිලි කරන්නට වුණේය. අත්තනායක මේ සියල්ල ඉතාම සාවධානව අහගෙන සිටියේය.

මල්ලි අපි ප්ලෑන් එකක ඉන්නෙ ඩී මංජුවට වැඩක් දෙන්න. ඒකට මට උඹේ සපෝර්ට් එක ඕනෙ. මල්ලි පොලිස්කාරයෙක් නිසා කිසිම ප්‍රශ්නයක් නැතිව මේ වැඩේ කරගන්න පුළුවන්.

සංඛ අත්තනායකගේ වම් උරහිසට තට්ටු කරමින් කීවේය. අත්තනායක බැරල්සංඛගේ තියුණු දෑස් දෙස එක එල්ලේ බලා සිටියේය. ඒ දැඩි වෛරයෙන් කෝපයෙන් පලිගැනීමෙන් දිලිසෙමින් තිබෙන බව තේරුම් ගන්නට ඔහුට අපහසු වුණේ නැත.

බැරල්සංඛ සිය සැලසුම ගැන පියවරෙන් පියවර අත්තනායක දැනුවත් කළේය.

සංඛ අයියා ඕනෙ වෙලාවක මට කතාකරන්න. මං රෙඩි. අපි වැඩේ කරමු අපි දැන් එක ගැන් එකේ මිනිස්සුනෙ. අත්තනායක බැරල්සංඛගේ දකුණු අත තදින් ග්‍රහණය කර ගනිමින් කීවේය.

පෑලියගොඩ පාතාලයේ කෙළිකාරයකු වන ඩී මංජු ඝාතනය කිරීමේ සැලසුම පිළිබඳ මුල්ම සාකච්ඡාව එතැනින් අවසන් විය.

අත්තනායක ළාබාල වියේ පසුවූ පොලිස් කොස්තාපල්වරයෙකි. මිනුවන්ගොඩ ප්‍රදේශයේ උපන් ඔහු පොලිස් සේවයට එන්නේ මීට වසර හත අටකට උඩදීය. පොලිස් සේවයට එක්වීමටත් පෙර සිටම අත්තනායක විවිධ දුසිරිත් ක්‍රියාවන්වලට ඇබ්බැහි වී සිටියේය. අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චියට ඔහු තදින් ඇබ්බැහි වන්නේ පොලිසියට එන්නටත් පෙර සිටමය.

අත්තනායකට ශාමලි මුණගැසෙන්නේ කිරිබත්ගොඩ පොලිසියේ රාජකාරි කරමින් සිටියදීය. ඉතාම රූමත් ළාබාල තරුණියක වූ ශාමලී කෙරෙහි අත්තනායකගේ සිත ඇදී යන්නේ නිරායාසයෙන්ය. ඔහු මේ ළාබාල තරුණියගෙන් ආදරය අයැද සිටියේය.

‘මට බයයි අයියා. අනික මං තාම ඉගෙන ගන්නවා. අපේ අයියලත් එච්චර හොඳ අය නෙවෙයි. මේක දැනගත්තොත් මාව මරයි.’ ශාමලී බියෙන් ගැහෙමින් කීවාය. ශාමලීගේ ඥාති සොහොයුරා ක්‍රිස්ටෝය. පෑලියගොඩ පොලිසියේ කෙළිකාරයකුව සිටින බැරල්සංඛගේ සමීපතම සගයකු වූ ක්‍රිස්ටෝ නහරකාරයෙකි. සිය ඥාති සොහොයුරු වූ ක්‍රිස්ටෝගේ තරම හොඳින් දන්නා නිසා පොලිස් නිලධාරියකුට ආදරය කරන්නට ශාමලී දෙවරක් සිතා බැලුවාය.

කෙසේ හෝ මේ ආදරය වැඩිකල් නොගොස් දලුලා වැඩෙන්න වුණේය. පොලිස් නිලධාරියකු වුවද අත්තනායක වැඩි නැඹුරුතාවක් දැක්වූයේ දූෂිතයන්, ජාවාරම්කාරයන්, කුඩුකාරයන් ඇසුරු කිරීමටය.

ශාමලී මං ආසයි ඔයාගෙ අයියා ක්‍රිස්ටෝ හම්බවෙන්න. ඒවගේම බැරල්සංඛව අඳුනගන්න. එයාලට කියන්න මං ගැන. මං හොඳ පොලිස්කාරයෙක් නෙවෙයි කියන්න.

අත්තනායකගේ ඉල්ලීම මත ශාමලී තම ඥාති සොහොයුරු වූ ක්‍රිස්ටෝ මුණගැස්සුවේය. එතැන් සිට බැරල්සංඛ නේවි කසුන්, කැලුම් චාමර ඇතුළු පෑලියගොඩ පාතාලයේ බොහෝ දෙනකු අත්තනායකගේ සමීප මිතුරන් බවට පත්වුණේය.

මල්ලි වගේ කෙනෙක් අපට ඉන්න එක ලොකු හයියක්. මොකද අපට මේ වැඩවලට මල්ලිගෙන් ලොකු සපෝර්ට් එකක් ගන්න පුළුවන්. අපි එක්ක මල්ලි ඉන්න, කවදාවත් ඔයාට වරදින්නෙ නැහැ.

බැරල්සංඛ කොස්තාපල් අත්තනායකට කීවේය.

අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටි අත්තනායක මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ වන්නේ පෑලියගොඩ පාතාලය ඇසුරු කිරීමට පටන් ගැනීමෙන් පසුවය.

විවිධ අකටයුතුකම් රාජකාරි පැහැරහැරීම් ඇතුළු චෝදනා නිසා අත්තනායක කිරිබත්ගොඩ පොලිසියේ සිට පෑලියගොඩ මූලස්ථාන පොලිසිය වෙත මාරුකර යැවුණේය. පෑලියගොඩට අනුයුක්තව සිටි අත්තනායක ශාන්ත ජෝන් මාළු වෙළෙඳ සංකීර්ණයේ රාජකාරි සඳහා යොදවනු ලැබීය.

පොලිස් රාජකාරිය පසෙක තැබූ අත්තනායක පෑලියගොඩ පාතාලයේ මැරයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන්නට පටන් ගත්තේය.

ඒ වනවිට ශාමලී සමග විවාහ වී සිටි අත්තනායක කැලණිය ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටියේය.

2018 වර්ෂය වන විට පෑලියගොඩ පාතාලය දැඩි ලෙස උණුසුම් වෙමින් තිබුණේය. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල් මත ඩී මංජු සහ බැරල්සංඛ අතර ද්වන්ධ සටනක් ක්‍රියාත්මක වෙමින් පැවතිණි.

තවත් කල් බලාගෙන හිටියොත් මංජුවා අපි සේරම කම්බස් කරනවා ඊට ඉස්සර ඌව පරලොව යවන්න ඕනෙ. අත්තනායක මල්ලි උඹ ලෑස්තිවෙයන් අපි මේ වැඩේ ඉවරයක් කරලා දාමු. බැරල්සංඛ අත්තනායකට කීවේය. ඩී මංජු ඝාතනය කිරීම සඳහා අවශ්‍ය කරන ගිනිඅවි මෙන්ම යතුරුපැදියක් ද බැරල්සංඛගේ පාතාල කල්ලිය විසින් සූදානම් කර තිබුණේය.

මගේ ඉන්ෆෝමන්ලා වටේම දාලා ඉන්නෙ. මංජුව යන එන තැන් උන් සේරම ෆලෝ කරනවා. කොයි වෙලාවක හරි මට උන්ගෙන් මැසේජ් එක එයි. ඒ නිසා අත්තනායක මල්ලි රෙඩිපිට ඉන්න ඕනෙ. බැරල් සංඛ කීවේය.

හරි සංඛ අයියා මං රෙඩි. ඕනෙ වෙලාවක යුනිෆෝම් එකෙන් හරි එන්නම් අයියා වෙනුවෙන් මේ වැඩේ කරන්න.

අත්තනායක බැරල්සංඛට පොරොන්දු වුණේය. ඒ වනවිට බැරල සංඛට අයත් මත්ද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් අලෙවි කරමින් සිටියේ මේ නිල ඇඳුම ඇඟලාගත් පාපතරයා විසින්ය. පොලිස් නිල ඇඳුම ප්‍රයෝජනයට ගනිමින් මොහු ඉතාම සූක්‍ෂ්ම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම කරගෙන ගියේය. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉතා විශාල ලාභයක් ඉපැයූ නිසා අත්තනායක බැරල්සංඛ කියන ඕනෑම දහදුරා වැඩකට එක පයින් කැමැත්ත පළ කළේය. දිනක් සවස් වරුවේ හදිසියෙන්ම බැරල්සංඛගෙන් අත්තනායකට දුරකථන ඇමතුමක් ලැබුණේය.

මල්ලි ඩී මංජුවා පෑලියගොඩ බුළුගහහන්දියේ ඇක්සිඩන්ට් එකක් වෙලා මේ වෙලාව තමයි ඌව පරලොව යවන්න හොඳම වෙලාව. මල්ලි ටක්ගාලා එන්න මං රෙඩිවෙලා ඉන්නෙ. බැරල්සංඛ අත්තනායකට කීවේය. ඒ වනවිට ඔහු රාජකාරි නිමවී සිටියේය. සැණෙකින් ක්‍රියාත්මක වූ අත්තනායක යතුරුපැදියේ නැගී බැරල්සංඛ සොයා ගියේය.

විනාඩි ගණනක් ඇතුළත අත්තනායක සහ බැරල්සංඛ පෑලියගොඩ බුළුගහහන්දිය ආසන්නයට ළඟා වූහ. ඩී මංජු රැගත් මෝටර් රථය කන්ටේනර් රථයක ගැටී අනතුරට ලක්ව තිබුණේය. ඒ වනවිට පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් ද අනතුර සිදුවූ ස්ථානය වෙත පැමිණ සිටියහ.

සෑහෙන පිරිසක් ඒ වනවිට අනතුර සිදුවූ ස්ථානයට රැස්ව සිටියහ. යතුරුපැදියෙන් බැසගත් බැරල්සංඛ රැස්ව සිටි පිරිස අතරට ගොස් ඩී මංජු සොයන්නට වුණේය. ඒ වනවිට ඩී මංජු පොලිස් නිලධාරීන් කීපදෙනකු සමග කතාකරමින් සිටියේය.

මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලය අමෝරාගත් බැරල්සංඛ රැස්ව සිටි පිරිස අතරින් එකවරම මතුවී ඩී මංජු රැඳී සිටි ස්ථානය වෙත නොනවත්වා වෙඩි තබන්නට වුණේය. අනපේක්‍ෂිත ප්‍රහාරයෙන් භීතියට පත්වූ නගරවාසීන් ආරක්ෂිත ස්ථාන කරා දිවයන්නට වූහ. බැරල්සංඛගෙන් තමන්ට ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි නිසැකවම සිතා සිටි මංජු ක්‍ෂණයකින් එම ස්ථානයෙන් ඉවත් වුණේය.

නිල ඇඳුමෙන්ම පාතාලයෙන්ම වෙඩි කෑ පොලිස් අත්තනායක

එහෙත් ඒ වනවිට රථවාහන අනතුර පරීක්‍ෂා කිරීමට පැමිණ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් වෙඩි ප්‍රහාරයට ලක්ව බිම ඇදවැටී වේදනාවෙන් විලාප නගන්නට වූහ.

තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටීම භයානක බව තේරුම් ගත් බැරල්සංඛ අත්තනායක නවතාගෙන සිටි යතුරුපැදිය වෙත
දිවගොස් ඊට ගොඩ වුණේය. මල්ලි වැඩේ වැරදුණා. අපි ඉක්මනට මාරුවෙමු. මංජුවා පැනගත්තා. පොලිස්කාරයො දෙන්නෙකුට වෙඩි වැදුණා. බැරල්සංඛ කෑගැසුවේය. අත්තනායක පවනට බඳු වේගයෙන් යතුරුපැදිය පදවාගෙන ගොස් ජනාකීර්ණ පෑලියගොඩ නගරයේ අතුරුදන් වුණේය. පෑලියගොඩ බුළුගහහන්දියේදී එල්ල වූ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු බරපතළ තුවාල ලැබීය. මේ ප්‍රහාරය සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම එල්ල වූ මරු පහරක් විය. පෑලියගොඩ අපරාධ කොට්ඨාසය සහ පොලිසිය ඒකාබද්ධව විමර්ශන ආරම්භ කළේය. වැඩි දවසක් ගතවීමට පෙර බැරල්සංඛ අත්අඩංගුවට පත් වුණේය. ප්‍රහාරය සඳහා පැමිණි අනෙක් පුද්ගලයා පෑලියගොඩ ශාන්ත ජෝන් මාළු වෙළෙඳපොළේ රාජකාරි කරන පොලිස් නිලධාරියකු බව පොලිසිය අනාවරණය කරගත්තේය. අත්තනායක ඒ වනවිට අතුරුදන්ව සිටියේය. තවදුරටත් සැඟවී සිටීම නුවණට හුරු නැති බව තේරුම් ගත් අත්තනායක නීතියට හිස නමා භාරවීමට තීරණය කළේය.

අවසානයේ ඔහු අලුත්කඩේ අධිකරණය වෙත නීතිඥවරුන් මාර්ගයෙන් භාර වුණේය. පොලිස් නිලධාරීන් දෙදෙනකුට වෙඩිතබා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්තනායක සහ බැරල්සංඛ බන්ධනාගාරගත කෙරිණි. මාස හයකට වැඩි කාලයක් ආණ්ඩුවේ බෝඩිමේ ගතකළ අත්තනායක ආපසු නිවසට එද්දී රැකියාව අහිමි වී තිබුණේය.

‘සංඛ අයියා මට දැන් රස්සාවක් නැහැ ජීවත් වෙන්න විදිහක් නැහැ. ෆුල් ටයිම් අයිය එක්ක තමයි ඉන්න වෙන්නෙ.’

පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාව අහිමිවූ පසු අත්තනායක බැරල්සංඛට කීවේය.

මල්ලි බයවෙන්න එපා. මගේ බිස්නස් තියනවා ඒ සේරම මල්ලි බලාගන්න. ඔය පොලිසියෙ ඉඳලා ජීවිත කාලෙම හම්බකරන සල්ලිවලට වඩා වැඩි සල්ලියක් මල්ලිට එක මාසෙන් හොයා ගන්න පුළුවන්. බැරල්සංඛගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ වැඩි කොටසක් එතැන් සිට කරගෙන ගියේ අත්තනායක විසින්ය. බැරල්සංඛගේ සමීපතම ගෝලයන්ගෙන් එකකු බවට පත්ව සිටි මේ හිටපු පොලිස් නිලධාරියා ‘පොලිස් අත්තනායක’ ලෙසින් කොයි කවුරුත් හැඳින්වූවෝය. බැරල්සංඛගේ කල්ලියේ පැරණි සාමාජිකයන් දෙදෙනකු වූ නේවි කසුන් සහ කැලුම් චාමර පොලිස් අත්තනායකගේ සමීපතම මිතුරන් වීමට වැඩි කාලයක් ගත වුණේ නැත. මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙන්ම අනෙකුත් පාතාල ක්‍රියාවන් සඳහා බොහෝ අවස්ථාවල පොලිස් අත්තනායක ගියේ නේවි කසුන් හෝ කැලුම් චාමර සමගය. ඒ නිසාම ඔවුන් සමීඵ මිතුරන් බවට පත්ව සිටියහ. එහෙත් පොලිස් අත්තනායකට මේ මිතුදම වැඩි කාලයක් පවත්වාගෙන යන්නට ඉඩ ලැබුණේ නැත. ඉකුත් මාර්තු 24 වැනිදා හිරු අවරට යමින් තිබුණේය. ජනාකීර්ණ කඩවත නගරය හිටිහැටියේම උණුසුම් වුණේ පාතාල සන්නද්ධ කණ්ඩායමක් අවි අමෝරාගෙන කඩාවැදීමත් සමගය.

පාතාල මැරයන්ගේ ඉලක්කය වී තිබුණේ බැරල්සංඛගේ කල්ලියේ ප්‍රබලයන් දෙදෙනකු වූ නේවි කසුන් සහ කැලුම් චාමරය. දෙනෝදාහක් දෙනා බලා සිටියදී කඩවත නගරයට කඩාවැදුණු පාතාල මැරයන් දෙදෙනකු නේවි කසුන්ට සහ කැලුම් චාමරට වෙඩි තබා ඝාතනය කර නිරුපද්‍රිතව පලා ගියේය. තම සමීපතම සගයන් දෙදෙනා ඝාතනය කිරීමේ සිදුවීම ඇසීමෙන් පොලිස් අත්තනායක දැඩි ලෙස කම්පනයට පත් වුණේය.

ප්‍රහාරය එල්ල කර තිබුණේ මීට මාස කීපයකට උඩදී බන්ධනාගාරයෙන් ඇප මත නිදහස ලබා පැමිණි ගණේමුල්ලේ සංජීවගේ කල්ලියේ මැරයන් විසින් බව හෙළිවන්නට වැඩි වේලාවක් ගත වුණේ නැත. මේ ඝාතනයට හේතු වූ කරුණු පොලිසිය විසින් සොයා ගත්තේය. චූටිඋක්කුං නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මීට වසර කීපයකට උඩදී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබුණේය. ඒ ඝාතනය සිදු කළේ කඩවතදී මැරුම් කෑ නේවි කසුන් සහ තවත් පාතාල මැරයකු විසින්ය.

චූටිඋක්කුං ඝාතනයට ලක්වීමෙන් පසු ඔහුගේ තරුණ බිරිඳට යන එන මං අහිමි විය. ඇය අවසානයේ නතර වන්නේ ගණේමුල්ලේ සංජීවගේ තුරුලේය. තම සැමියා ඝාතනය කළ මැරයන්ගෙන් පළිගැනීම ඇයගේ එකම අභිප්‍රාය වී තිබුණේය.

ගණේමුල්ලේ සංජීවගේ උපකාර ලබාගෙන නේවි කසුන් ඝාතනයට ඇය සැලසුම් කළාය.

කඩවතදී නේවි කසුන් සහ කැලුම් චාමර මැරුම් කන්නේ චූටිඋක්කුං ඝාතනය කිරීමේ සිද්ධියට දඬුවම් විඳිමින්ය. තම සමීපතම සගයන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියෙන් දැඩි වේදනාවටත් කම්පනයටත් පත්ව සිටි පොලිස් අත්තනායක කෝපයෙන්
කෑගැසුවේය.

සංජීවය හිතාගෙන ඉන්නෙ ඌ රජා කියලා. මේකෙ පළිය වැඩි දවස් යන්න ඉස්සර ගන්නවා. උන් දන්නෙ නැහැ පොලිස් අත්තනායක කියන්නෙ කවුද කියලා. අත්තනායක තම සිතේ ඇතිවූ වේදනාව පහව යනතුරු කෑගැසුවේය. දෙස්දෙවොල් තැබුවේය. ගණේමුල්ලේ සංජීවගේ සමීපතම මිතුරා වූයේ ළහිරුය. ළහිරු මේ වනවිට සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. ගණේමුල්ලේ සංජීවගේ උපදෙස් මත කඩවත ද්විත්ව ඝාතනය සැලසුම් කළේ ළහිරු විසින් බව හෙළි වුණේය. පොලිසියට ප්‍රථම මේ තොරතුරු සියල්ල පොලිස් අත්තනායක මෙන්ම බැරල්සංඛ ද හෙළි කර ගත්හ. නේවි කසුන් සහ කැලුම් චාමර ඝාතනයේ සියලු තොරතුරු බැරල්සංඛ සහ පොලිස් අත්තනායක හෙළිකර ගෙන සිටින බව ගණේමුල්ලේ සංජීව මෙන්ම ළහිරු ද දැනගත්හ. ඒ වනවිට ළහිරුගේ වැඩිමහල් සොහොයුරා සිටියේ පෑලියගොඩ ප්‍රදේශයේය. කඩවත ද්විත්ව ඝාතනය සැලසුම් කළ ළහිරු සිටියේ ඩුබායි රාජ්‍යයේය.

නේවි කසුන් සහ කැලුම් චාමර ඝාතනයට එකට එක කිරීමක් ලෙස තම සොහොයුරු මරා දැමීමට පොලිස් අත්තනායක සැලසුම් කරගෙන සිටින බවට තොරතුරු ළහිරු වෙත ලැබී තිබුණේය.

ප්‍රහාරය සඳහා ආයුධ සූදානම් කරගත් බවට තොරතුරු ද ළහිරු වෙත ලැබී තිබිණි. ළහිරු කලබලයට පත් වුණේය. ගණේමුල්ලේ සංජීවගේ ද සහාය ලබාගෙන පොලිස් අත්තනායක ඝාතනයට සැලසුම් සකස් කෙරෙන්නේ ඉන් අනතුරුවය.

ළහිරුගේ ඔත්තුකරුවන් පොලිස් අත්තනායකගේ ගමන්බිමන් චර්යාවන් සොයා ඔහු ලුහුබදින්නට වූහ. මොන පාපකර්මවලට සම්බන්ධ වුවද පොලිස් අත්තනායක තම බිරිඳට සහ දෙහැවිරිදි සිඟිති දරුවාට පණ මෙන් ආදරය කළේය. ඔවුන්ගේ සියලු අවශ්‍යතා සොයා බලා ඒවා ඉටුකිරිමට කිසිවිටෙකත් ඔහු පසුබට වුණේ නැත.

පසුගිය 26 වැනිදා රාත්‍රිය උදාවෙමින් තිබුණේය. ඒ වනවිට පොලිස් අත්තනායක පදිංචිව සිටියේ කැලණියට නුදුරු ප්‍රදේශයේ පිහිටි නිවසකය.

එදින රාත්‍රියේ පොලිස් අත්තනායක සිය බිරිඳ සහ දරුවා ද රැගෙන නිවසින් පිටවන්නේ ස්කූටර් වර්ගයේ යතුරුපැදියෙන්ය. තමන් මේ යන්නේ අවසානය කරා බව පොලිස් අත්තනායක සිහිනයකින් හෝ නොසිතුවේය. මාරයා තමන් එනතුරු දත් විලිස්සාගෙන බලා සිටින බව ඔහු දැන සිටියේ නැත. පොලිස් අත්තනායක යතුරුපැදියක නැගී නිවසින් පිටවූ බව ළහිරුගේ ඔත්තුකරුවන් දැනගත්හ. ඒ මොහොතේම අදාළ තොරතුරු ළහිරු සහ ගණේමුල්ලේ සංජීව වෙත ලැබුණේය.

ඒ වනවිටත් කුලී ඝාතකයන් සිය ගොදුර ඩැහැගැනීමට සූදානමින් සිටියහ. නියෝගය ලැබුණේය. වහාම ක්‍රියාත්මක වූ කුලී ඝාතකයන් දෙදෙනා අවි අමෝරාගෙන කැලණිය දුම්රියපළ පාරට කඩාවැදුණේය.

ළහිරු සහ ගණේමුල්ලේ සංජීව එවූ මිනීමරුවන් තමන් එනතුරු මග රැක සිටින බව නොදත් පොලිස් අත්තනායක සිය බිරිඳ සහ දරුවා සමග යතුරුපැදිය ස්ටේෂන් පාරට හැරෙව්වේය.ඔහුට වැඩි දුරක් යන්නට ඉඩ ලැබුණේ නැත. යතුරුපැදියක පැමිණි කුලී ඝාතකයන් දෙදෙනා බිරිඳ සහ සිඟිති දරුවා බලා සිටියදීම ඔහු වෙත වෙඩි වරුසාවක් එල්ල කළේය. පොලිස් අත්තනායක කපා හෙළුෑ කෙසෙල් කඳක් මෙන් බිම ඇදවැටුණේ ජීවිත ගමනට අවසන් තිත තබමින්ය. මහඋන්ගේ වෛරය පළිගැනීම ඇතුළු සියලු වැරදිවලට හයහතර නොදත් අහිංසක දරුවකු ද අනතුරට ලක්වුණේ ඉතාම ඛේදනීය ලෙසය.

මිනිමරුවන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලට පොලිස් අත්තනායකගේ දෙහැවිරිදි දරුවා ද ගොදුරු වුණේය. හයහතර නොතේරෙන දරුවාගේ සුෂුම්නාව සිදුරු කරමින් පිටවූ වෙඩි උණ්ඩය නතර වන්නේ දරුවා සදාකාලික අබ්බගාතයකු බවට පත්කරමින්ය.

පොලිස් අත්තනායකගේ බිරිඳට කිසිදු අනතුරක් සිදුව තිබුණේ නැත. සිය ඉලක්කය සපුරාගත් කුලී මිනීමරුවන් පලා ගියහ. පොලිස් අත්තනායකගේ ගමන එතැනින් නිමාවට පත් වුණේය. එහෙත් මේ පාපතරයන්ගෙන් සැදුම්ලත් පාතාලය කිසිදා නිමාවන්නේ නැත.

පුවතේ අර්ථයට හානි නොවන සේ ජායාරූප පමනක් වෙනස් කොට ඇත.

උපුටා ගැනීම

හේමන්ත රන්දුනු

දිවයින ඉරිදා සංග්‍රහය

Leave a Reply

Your email address will not be published.