ජැක්සන් ඇන්තනීට පැය 7ක සැත්කමක්

පසුගිය දෙවැනි දා රාත්‍රි 9යි 30ට පමණ අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී සිය කැබ් රථය අනතුරට ලක්වීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ රංගධර ජැක්සන් ඇන්තනීට අද (04) කොළඹ ජාතික රෝහලේ දී පැය 7ක ශල්‍යකර්මයක් සිදු කර තිබෙනවා.

ඒ මෙම අනතුර හේතුවෙන් ඔහුගේ බෙල්ලෙ පසුපස කොටසේ කශේරුකාවන් හි සිදු ව ඇති හානිය සකස් කිරීම සඳහා යි.

අද උදෑසන 9ට පමණ ශල්‍යාගාරයට ගැනුණු මෙම ප්‍රවීණ රංගන ශිල්පියාගේ සැත්කම නිමා වී ඇත්තේ, සවස හතරට පමණ බව ජාතික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළා.

මේ වන විට සැත්කමෙන් අනතුරු ව රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී දැඩි සත්කාර ඒකකයට යොමු කර ඇති බවත් ඔහුව සමීප ව නිරීක්ෂණය කරමින් සිටින බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් හෙට දිනය තුළ දී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි බව යි අප වෙත අදහස් දැක්වූ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළේ.

මෙම අනතුරෙන් රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ ඉල ඇටවලට තදබල හානි සිදු වී තිබෙනවා.

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී, ඔහුගේ සහෝදරයකු වන සමන් ඇන්තනී සහ තවත් පුද්ගලයෙකු සමඟ තලාව ප්‍රදේශයේ පැවති චිත්‍රපට රූගත කිරීමක් සඳහා සහභාගි වී අනුරාධපුර දෙසට ගමන් ගනිමින් සිටිය දී පසුගිය 2 වැනි දා රාත්‍රී 9.30ට පමණ මෙලස අනතුරට ලක් ව තිබුණා.

ඒ ඔවුන් ගමන් ගත් කැබ් රථයෙහි වන අලියෙකු ගැටීමෙන්.

කැබ් රථයේ ගැටුණු අලියා එම රථය මතට පෙරළීමෙන් කැබ් රථයට ද දැඩි අලාභ හානි සිදු ව තිබුණා.

අනතුරෙන් පසු ව වහා ම ජැක්සන් ඇන්තනි ඇතුළු පිරිස් අනුරාධපුර රෝහල වෙත යොමු කළ අතර, පසු ව ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහල වෙත යොමු කෙරුණේ, ඔහුගේ බෙල්ලේ පසුපස කශේරුකා සම්බන්ධ ශල්‍යකර්මය සිදු කිරීම සඳහා යි.

Leave a Reply

Your email address will not be published.