ඩී.ඒ රාජපක්ෂ නඩුවේ ලේඛන මුදාහැරීමට නියෝග

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් හා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර මේ වන විට අවසන්ව ඇති නඩුවේ සාක්ෂි වශයෙන් අධිකරණයට භාර දී තිබූ ලේඛන යළි අධිකරණයට ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව මුදාහරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

එම නඩුව අද (04) චම්පා ජානකී රාජරත්න සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ලේඛන ගණනාවක් සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් එම ලේඛන එම සංස්ථා වෙත මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එම නඩු කටයුත්ත මේ වන විට අවසන් කොට විත්තිකරුවන් නිදහස් කර ඇති නිසා අදාළ ලේඛන මුදාහැරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොවන බව රජයේ නීතිඥවරයා සඳහන් කළේය.

මෙහිදී විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුවේ විත්තිකරුවන් නිදහස් කිරීම පමණක් සිදුකර ඇති බවත් ඔවුන් නිදොස් කොට නිදහස් කිරීමක් සිදුකර නොමැති බවත් පෙන්වා දුන්නාය.

යම් ඉදිරි දිනයක මෙම විත්තිකරුවන්ට යළි නඩු පැවරීමට තීරණය කළහොත් අදාළ ලේඛන සුරක්ෂිතව ගෙන්වා ගන්නේ කෙසේදැයි මෙහිදී විනිසුරුවරිය රජයේ නීතිඥවරයගෙන් ප්‍රශ්න කළාය.

එහිදී රජයේ නීතිඥ වරයා සඳහන් කළේ, අදාළ ලේඛන සුරක්ෂිතව තබා ගන්නා ලෙසටත් යළි අධිකරණය ඉල්ලා සිටින අවස්ථාවක ඒවා ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව එම ලේඛන මුදාහරින ලෙසත් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ ලේඛනවල සහතික පිටපත් ලබාගැනීමෙන් පසුව ඒවා යළි අධිකරණය ඉල්ලා සිටින අවස්ථාවක ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත මුදාහරින ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නඩු පැවරූ අතර පසුව එම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට නීතිපතිවරයා තීරණය කළේය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමට ද අධිකරණය නියෝග කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.