මන්ත්‍රීවරුන්ට අතුරු හමුදා පිහිටුවන්න අවසර දී ආණ්ඩුව තවත් වියවුලක් හදන්න යනවා

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට තමන්ට හිතවත් ග්‍රාමාරක්ෂකයින් ආරක්ෂාවට යොදාගෙන අතුරු හමුදා ගොඩ නැගීමට සැලසුම් කර තිබෙන අතර පොලිස්පතිවරයා විසින් යවන ලද ලිපියකින් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විපක්ෂයට අභූත චෝදනා එල්ල කර ඇති බව එම පක්ෂයේ නායක අනුර දිසානායක අද පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේය.

මෙම මාධ්‍ය හමුව එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති අතර එයට පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, ජාතික සංවිධායක බිමල් රත්නායක සහ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී ලාල්කාන්ත එක් වී සිටියහ. එම හමුවේදී දැක්වූ සම්පූර්ණ අදහස් පහත පලවේ.

“දීර්ඝ කාලයක් අපේ රටේ අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාකවලට අපේ රටේ ජනතාව දැන් මුහුණ දෙමින් ඉන්නවා. මේ සම්බන්ධයෙන් ගත යුතු නිසි ක්‍රියාමාර්ග ලබාගැනීමට අසමත් වූ ආණ්ඩුව රටේ සෑම ක්ෂේත්‍රයකමත්, සෑම ක්ෂේත්‍රයකම පුරවැසියනුත් විශාල පීඩාවකට පත්කර තිබෙනවා. රජයේ කාර්යාලවල වැඩකිරීම අත්හිටුවා, පාසල් මුළුමනින්ම වසා දමා ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ අනෙකුත් කර්මාන්ත අත්හිටුවා තිබෙනවා. ඉන්ධන කවදා ලැබෙයිද යන්න නිශ්චිතව කිව නොහැකි තත්වයක් තුළ ෂෙඩ් ඉදිරිපිට පුරවැසියන් දින පහ, හය ගතකරනවා. ආහාර සහ ඖෂධ විශාල හිඟයක් තිබෙනවා. රටේ ජනතාව විශාල පීඩනයකට පත්වන බව ජාත්‍යන්තර සංවිධාන අනතුරු ඇඟවීම් කර තිබෙනවා. මුළු සමාජයත්, ජන ජීවිතයත් සුණුවිසුණු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව මුළුමනින්ම වගකිව යුතුයි. පීඩනයට පත් සියලු ක්ෂේත්‍රවල ජනතාව තම විරෝධයන් පළ කරමින් තරාතිරමකින් තොරව ඈත ග්‍රාමීය ප්‍රදේශ දක්වා පාරට බසිමින් ඉන්නවා.

මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග දෙකක් ආණ්ඩුවට තිබෙනවා. එකක් ජනතාවගේ සාධාරණ ගැටලුවලට වහාම විසඳුම් ලබාදීමයි. නමුත් ආණ්ඩුව පෙන්නුම් කරමින් තිබෙන්නේ ප්‍රශ්නයවත් හරිහැටි තේරුම් ගෙන නැති බවයි. ඒ නිසා මේ පාලකයන්ගෙන් විසඳුම් ලබාගැනීම පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ. මේ තත්වය තුළ රටත් ජනතාවත් ව්‍යසනයට ලක්කර තවදුරටත් පාලනය ගෙනයාමට කිසිදු අයිතියක් නැහැ. ඒ නිසා ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුයි. නමුත් ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ රට තුළ තවත් නව පන්නයේ වියවුලක් නිර්මාණය කරන්න. පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමේදී තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ගිනි අවි ඉල්ලා තිබෙනවා. අවසානයේ මන්ත්‍රී කණ්ඩායම් තීරණය කර තිබෙන්නේ තමන් කැමති ග්‍රාමාරක්ෂකයින් පස්දෙනෙකුට විශේෂ පුහුණුවක් ලබාදී ආයුධ ලබාදී ආරක්ෂාව සඳහා යෙදවීමයි. මන්ත්‍රීවරයාගේ අණසකට ක්‍රියාත්මක වන ඔහුගේ ඕනෑ එපාකම් ඉටුකරන පුහුණුවක් සහ ගිනි අවි සහිත මෙවැනි කණ්ඩායම් අතුරු හමුදා ඛණ්ඩ ලෙස පවත්වාගෙන යාමට සූදානම් වෙනවා. කවරෙකුට හෝ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම්, යම් විධිමත් නීත්‍යානුකූල ආයතනයකින් නියෝග ලබාගෙන ආයතනයකින් මෙහෙය විය යුතුයි. ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තිබෙනවා. නමුත් ආණ්ඩුව උත්සාහ කරන්නේ මන්ත්‍රීවරයා වටා අතුරු හමුදා කණ්ඩායමක් පිහිටුවා නව විශාල වියවුලකට මුල පුරන්නයි. මේ තීන්දුව වහාම හකුළා ගන්න කියලා අපි ආණ්ඩුවට බලකරනවා.

පසුගිය ජුනි 27වැනිදා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න මහතාට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් යවා තිබෙන ලිපිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සිදුව තිබෙනවා. මේ ලිපියෙන් ප්‍රධාන කරුණු දෙකක් අවධාරණය කරනවා. ජූලි මාසයේ 05, 06 දෙදිනෙන් ආරම්භ වන කළු කොටි සැමරුම ඉලක්ක කරගෙන විදේශීය ඔත්තු සංවිධානයක මැදිහත්වීමෙන් උතුරේ හෝ දකුණේ බෝම්බ පිපිරවීමේ ඉඩක් තිබෙන බවට සඳහන් කර තිබෙනවා. “එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදුකරන ලද්දක් බවට ඒත්තු ගැන්වෙන පරිදි ක්‍රියාකිරීමට දැනටමත් යාපනය ප්‍රදේශය තුළ දේශීය හා විදේශීය ආයතනවල සේවය කරන ප්‍රභූවරුන්ට 05 සහ 06 දෙදින තුළ ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බව” දැනුම් දී ඇතැයි කියනවා. මේ සම්බන්ධ තොරතුරු ලැබුණු මාර්ගය සහ එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු ආණ්ඩුව ඉදිරිපත් කළ යුතුයි. නමුත් ආණ්ඩුව එවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජ ගත කරන්නේදැයි බරපතළ සැකයක් තිබෙනවා.

ඒ ලිපියෙන් ඉදිරිපත් කර තිබෙන තවත් බරපතළ කරුණක් කෙරෙහි අප විශේෂ අවධානය යොමුකරනවා. එහි සඳහන් කර තිබෙන්නේ “ඉදිරියේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලනඥයන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා, ජනතා විමුක්ති පෙරමුණත්, විරුද්ධ පක්ෂය නියෝජනය කරන තව දේශපාලන කණ්ඩායම්ද කටයුතු කරන බවට” තොරතුරු ඇතැයි සඳහන් කරනවා. මේක විහිළුසහගත ඉතාමත් විකට ලිපියක්. ආණ්ඩුව නිතරම උත්සාහ කරන්නේ සමාජය බියවද්දන්න. විවිධ දේශපාලන ව්‍යාපාරවලට විවිධ ලේබල් අලවන්න. මේ තුළින් ආණ්ඩුවට විරුද්ධව පැන නැගී තිබෙන උද්ඝෝෂණ මාලාව ජාතික මට්ටමෙන් සහ ග්‍රාමීය නගර මට්ටමින් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි මැදිහත් වී සිදුකරමින් යනවා. ජනතාව සංවිධානය කරන්නත් ඊට මැදිහත් කරවන්නත් නිශ්චිත වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ඒකට විරුද්ධව ආණ්ඩුව මෙවැනි විවිධ ප්‍රචාරයන් විහිළුසහගත ආකාරයෙන් නිර්මාණය කර බෙදාහරිනවා. කිසිම තර්කානුකූල ආකාරයක් නොවෙන, වගකීමක් නැති ප්‍රවෘත්ති නිර්මාණය කරමින් යනවා. අප සහ අනෙකුත් විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ සම්බන්ධ කර තිබෙන මෙම ලිපිය අපේ පාර්ශ්වයෙන් බැහැර කරනවා. ආණ්ඩුවේ මේ විගඩම්වලට හසුවෙන්න එපා කියලා ජනතාවට අවධාරණය කරනවා. ජනාධිපතිවරයාත්, පොලිස්පතිවරයාත් අනුගමනය කරන මෙවැනි බොළඳ ක්‍රියාමාර්ගවලින් ජනතා විරෝධය යටපත් කළ නොහැකි බව අවධාරණය කරනවා.

පොලිස්පතිවරයාට පැවරී තිබෙන රාජකාරියෙන් ඔබ්බට ගොස් දේශපාලන විහිළු සපයන්නෙක් බවට පත්වෙන්න එපා කියලා අවධාරණය කරනවා. මේ ලිපියේ පිටපත් පොලිස්පතිවරයා විසින් තමන්ගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාට වත් යොමු කර නැහැ. පොලිස්පති, ආරක්ෂක ලේකම් අතර පුද්ගලික ගනුදෙනුවකට ලියන ලියුමක් වගෙයි. ඉදිරියේ තීව්‍ර වන විරෝධතා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන්න ආණ්ඩුව ඇතුලේම සැලසුමක් මෙවැනි ආකාරයෙන් තිබෙනවා දැයි සැකයක් මතුවෙනවා. මැයි 09වැනිදා සිදුවීම් සම්බන්ධයෙන් අවසන් වාර්තාවක් තවමත් නිකුත් කර නැහැ. පොලිසිය සහ හමුදාව විශාල වශයෙන් යොදවා තිබියදී නිවෙස්වලට ප්‍රහාර එල්ල වුණේ කොහොමද කියන ප්‍රශ්නය මතුවී තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට හමුදාව යෙදවීම ප්‍රමාද වුණේ ඇයි කියන ප්‍රශ්නයත් මතුවී තිබෙනවා. ජනතාවගේ විරෝධතා වෙන අතකට යොමුකිරීම සඳහා මෙවැනි තත්වයන් නිර්මාණය කිරීමට ආණ්ඩුවේ උත්සාහයත් තිබෙනවා විය හැකියි. නිවාස ගිනි තැබීමට පැමිණි අයගේ මෝටර් සයිකල්වල අංකයක්වත් පොලිසිය ලියාගෙන නැහැ. මේ නිසා මැයි 09 වැනිදා නිවාස ගිනි තැබීමත් ආණ්ඩුව විසින් කරන ලද කුමන්ත්‍රණයක් දැයි සාධාරණ සැකයක් අපට තිබෙනවා. මෙවැනි තත්වයක් කුමන්ත්‍රණකාරී ලෙස ඇතිකරලා ආණ්ඩුවට එරෙහි දේශපාලන ව්‍යාපාර මත පැටවීමේ සැලසුමක් තිබේදැයි බරපතළ සැකයක් ඇතිවී තිබෙනවා.

අපි ජනතාවගෙන් මහත් ඕනෑකමින් කරන ඉල්ලීමක් තිබෙනවා. මහත් වේදනාවන් නිසා උද්ඝෝෂණවලට එන ජනතාවගෙන් අපි ඕනෑකමින් ඉල්ලන්නේ ප්‍රචණ්ඩකාරිත්වයට අනුබල දෙන කිසිදු ක්‍රියාවක නොයෙදෙන ලෙසයි. උද්ඝෝෂණ තුළට ආණ්ඩුවේ කඩාකප්පල්කාරී පිරිස් ඇතුළත් කරලා මර්දනය කරන්න බැරි ආකාරයට සංවිධානාත්මකව උද්ඝෝෂණ කරන ලෙස ඉල්ලා සිටිනවා. ප්‍රශ්නවලට විසඳුම් නැතිව බිත්තියට හේත්තු වුණු ආණ්ඩුව අවසන් වශයෙන් බලය අල්ලාගෙන සිටීම සඳහා මෙවැනි ක්‍රියාමාර්ගවල යෙදීමේ හැකියාව තිබෙනවා. අප සම්බන්ධයෙන් කර තිබෙන සඳහන නැවත නැවතත් ප්‍රතික්ෂේප කරන අතර, මේ රටට සිදු කළ විනාශයන් ප්‍රසිද්ධියේ ජනතාවට පැහැදිලි කිරීම අපේ සාර්ථකම ක්‍රියාමාර්ග බව යළිත් මතක් කරනවා. දශක ගණනාවක් අප පැහැදිලි කළ තත්වය අද වඩාත් හොඳින් ජනතාව තේරුම් ගෙන තිබෙනවා. ජනතාව සමග සංවාදශීලීව, ගෙන යන අවබෝධය බොඳ කර ආණ්ඩුව වෙනත් චිත්‍රයක් මවන්න උත්සාහ කරනවා. මැයි 09 සිදුවීමෙන් පසුව පාර්ලිමේන්තුව දින හතරක් පුරා විවාද කරමින් අප කෙරෙහි වැරදි චිත්‍රයක් සමාජගත කරන්න උත්සාහ කළා. ඒ වෙනුවෙන් ආණ්ඩුව ගෙනයන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි හොඳ අවබෝධයකින් ඉන්නවා. අප සම්බන්ධයෙන් පොලිස්පතිවරයා යවා ඇති ලිපිය ගැන ආණ්ඩුවත්, පොලිස්පතිවරයාත් රටට පැහැදිලි කළ යුතුයි.”

මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු
ප්‍රශ්නය :- 09 වෙනිදාට විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඔබේ පක්ෂයත් ඊට එක්වෙනවාද?

පිළිතුරු :- විවිධ දේශපාලන පක්ෂ සහ සංවිධාන විවිධ දිනවලදී උද්ඝෝෂණ ව්‍යාපාර දියත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. අපිත් මේ වන විට උද්ඝෝෂණ මාලාවක් දියත්කර තිබෙනවා. 09 වැනිදාත් අපේ උද්ඝෝෂණ ක්‍රියාත්මක වෙනවා. ආණ්ඩුවට පීඩන එල්ල කළ හැකි සෑම ආකාරයකින්ම උද්ඝෝෂණ සිදුකරනවා. එක්කෝ ජනතාවගේ ප්‍රශ්නවලට ආණ්ඩුව විසඳුම් ලබාදිය යුතුයි. නැත්නම් ආණ්ඩුව ඉවත්ව යා යුතුයි.

ප්‍රශ්නය:- ඛනිජ තෙල් ඇමතිටවත් තෙල් නැති අවස්ථාවක ඔබට තෙල් තිබෙන්නේ කොහොමද කියලා ඇමතිවරයා ප්‍රශ්න කර තිබුණා. මේ සම්බන්ධයෙන් කරන පැහැදිලි කිරීම මොකක්ද?

පිළිතුරු:- ආරම්භයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නාරාහේන්පිට පොලිස් ඉන්ධන පිරවුම් හලෙන් ලබාගන්න අවස්ථාව දුන්නා. අපි ඒ විශේෂ අවස්ථාව යොදාගත්තේ නැහැ. ඉන්පසුව පාර්ලිමේන්තුව මගින් අපට තෙල් ලබාදෙන්න යෝජනා කර තිබුණා. අපි ඒ අවස්ථාව ලබාගත්තෙත් නැහැ. ඒ වගේම කොලොන්නාව තෙල් ගබඩාවෙන් සුපිරි රථ විශාල ප්‍රමාණයකට ඉන්ධන ලබාදී තිබුණා. කංචන සොයන්න ඕනෑ මේ විශේෂ වරප්‍රසාදය ලබාදුන්නේ කාටද කියලා. අපි සාමාන්‍ය පුරවැසියන් ලෙස ඔවුන්ට ලබාදී තිබෙන පෝලිම්වල අපේ සහෝදරවරුන් දින හතර, පහ රැඳීසිටිමින් අවශ්‍ය තෙල් ලබාගන්නවා. කංචන ඇමතිවරයාට පැවරී තිබෙන්නේ ජනතාවට විහිළු සැපයීම නොවෙයි, තෙල් ලබාදීමයි. අපි සෑම විටම මැති ඇමතිවරුන්ට ලබාදෙන විශේෂ වරප්‍රසාද ලබාගන්නේ නැහැ. ඩීසල්වලින් ධාවනය කරන වාහන පාරේ යනවා. ඒ වාහනවලට තෙල් ගත්තේ කොහොමද කියලා ඇමතිවරයා සොයන්නේ නැහැ.

ප්‍රශ්නය:- ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව පළවා හැරීමේ සටන තුළින් අගමැති ධුරය ලබාගැනීමේ අරමුණක් ඔබට තිබෙනවාද?

පිළිතුරු:- ගෝඨාභය රාජපක්ෂ මුලසුනේ තියාගත් කවර පාලනයකට හෝ අපි එකඟ වෙන්නේ නැහැ. එවැනි පාලනයකින් විසඳුම් ලැබෙන්නෙත් නැහැ. ආර්ථිකය මුහුණ දී සිටින ගැඹුරු අර්බුදවලට විසඳුම් ලබාගැනීමට කාලයක් ගත වෙනවා. තෙල්, ගෑස්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වැනි මූලික අවශ්‍යතා ඉතා කෙටි කාලයක් තුළ විසඳිය හැකියි. ඒ වෙනුවෙන් ඩොලර් උපයා ගැනීමේ මාර්ගය පිළිබඳව අපට සැලසුමක් තිබෙනවා. මාස හයකින් මහ මැතිවරණයකට යනතුරු මූලික අවශ්‍යතා විසඳීමයි අපේ යෝජනාව. ආර්ථිකයේ ඇතිවී තිබෙන ගැඹුරුතම අර්බුදයන්ට විසඳුම් සෙවිය හැක්කේ මහ ඡන්දයකින් ජනතා අනුමැතියෙන් පිහිටුවා ගන්න ආණ්ඩුවකින් පමණයි. එසේ නැතිව මාස හයකින් ගැඹුරුතම අර්බුදයන්ට විසඳුම් ලබාදෙන්න බැහැ.

ප්‍රශ්නය:- නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුව පෙරළීමට උත්සාහ කරන බවට ප්‍රචාරයක් යනවා. එවැනි සාකච්ඡාවලට ඔබලාත් සම්බන්ධ වී තිබෙනවාද?

පිළිතුරු:- නාමල්ලා එකතුවෙලා හදන ආණ්ඩු කියන්නේ තෙලෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් කොබෙයියා වැනි ඒවායි. ඒ නිසා ඒවා ගැන කතාකර වැඩක් නැහැ.

ප්‍රශ්නය:- නාමල් රාජපක්ෂ ගැන සම්බන්ධ වුණු තෙල් ගෙන්වන අලුත් සමාගමක් ගැන වාර්තා පළවී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යමක් කිව හැකිද?

පිළිතුරු:- ලංකාවේ එවැනි ගනුදෙනු සිද්ධ වෙන්නේ කොතැනද ඒ සෑම තැනකම ඔවුන් ඉන්නවා. හෙළිකරන්න එවැනි කරුණු රැසක් තිබෙනවා. එයාර් ලංකා සමාගමේ ගුවන් යානයක් ප්‍රමාද වන අවස්ථාවල යළි යානයක් පැමිණීම දක්වා මගීන් නවත්වන හෝටල් කාගේද? ඒවායේ ගෙවීම් මොනවාද? එවැනි සම්බන්ධතා මොවුන්ට තිබෙනවා. ඒ නිසා තෙල් සම්බන්ධයෙන් පළ වන ප්‍රවෘත්ති විය හැකිම දේවල්.

ප්‍රශ්නය:- ඉන්ධන පෝලිම්වල ඉන්න ජනතාවට හමුදාව සහ පොලිසිය පහර දුන් අවස්ථා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ දකින්නේ කොහොමද?

පිළිතුරු:- මෙතෙක් කල් ජනතාව ගෙන ගිය ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවලදී හමුදාව සහ පොලිසිය සංයමයකින් කටයුතු කර තිබෙනවා. මේ තත්වය ආණ්ඩුවට අවාසියි. ආණ්ඩුව ඒ නිසා පොලිසිය, හමුදාව සහ උද්ඝෝෂකයන් අතර ගැටුමක් හදන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ අයත් එක්ක ගැටීම් ඇතිකර ගන්න එපා කියලා අපි කියන්නේ ඒක නිසා. පොලිසියේ මහත්තුරුත් පෝලිම්වල ඉන්න හැටි අපි දැක්කා. හමුදාවේ මහත්තුරුන්ටත් මේ ප්‍රශ්නයම තියෙනවා. තැනක, දෙකක ඔබ කියූ වැනි ගැටුම් ඇතිවීමේ හැකියාව තිබෙනවා. ඒවා හුදකලා සිදුවීම් මිස හමුදාව පොලිසිය එක්ක පොදු ජනතාව ගැටෙන්න යන්නේ නැහැ. කෙනෙක් දෙන්නෙක් ගැටීම්වලට උත්සාහ කරනවා නම්, එය සංවිධානාත්මකව වෙනවා කියලා අපි හිතන්නේ නැහැ. අපට ගැටුම තිබෙන්නේ හමුදාව, පොලිසිය එක්ක නොවෙයි ආණ්ඩුව එක්කයි. ආණ්ඩුව පළවා හැරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ආණ්ඩු හදන්නේ ජනතාව නම්, ජනතාවත් සමග අපි ඉන්නේ එම ජනතා විරෝධී ආණ්ඩු ඉවත් කිරීමේ සටනකයි.

Leave a Reply

Your email address will not be published.