නැවත කොවිඩ් රෝගය මතු වීමේ අවදානමක්

නව ප්‍රභේද සමග නැවත වතාවක් කොවිඩ් රෝගය මතු වීමේ අවදානමක් දැන් උද්ගතව ඇති බැවින් ඉන් මිදීමේ හොඳම ක්‍රමය එන්නත් මාත්‍රා 4ම ලබා ගැනීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළේය. ඔහු මේ බව සඳහන් කළේ කොවිඩ් උවදුර ඉවර නෑ: 4 වැනි එන්නත ගනිමු මැයෙන් අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සංවිධාන කළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

“පළමු එන්නත ලබා ගත් පසුව 4 වන එන්නත ලබා ගන්නා ලෙස අප මීට පෙරත් ඉල්ලීමක් කළා. ඒ වන විටත් අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් සියයට 97ක් හා සියයට 100ක් අතර සංඛ්‍යාවක් ප්‍රාථමික එන්නත් ලබා ගෙන තිබුණා. පළමු එන්නත ලබා ගෙන තිබුණේ මිලියන 7.9ක පිරිසක් පමණි. 4 වැනි එන්නත ලබා ගන්නා ලෙස ජනතාවට ආයාචනා කළා. මේ වන විට කොවිඩ් නව ප්‍රභේද මතුවීමත් සමග ඇති වන අවදානමෙන් මිදෙන්න 4 වන එන්නත අවුරුදු 20ට වැඩි සියලුම දෙනා ලබා ගත යුතුයි” අසේල ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

එන්නත් 4 ම ගැනීමෙන් කොවිඩ් රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු වීම, රෝගය වැළඳුන ද දරුණු රෝග තත්ත්වයට පැමිණීමේ හා මරණයට පත්වීමේ අවදානම අඩු බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. අවුරුදු 60 ට වැඩි සියලුම දෙනාත් විදේශගත වීමට බලාපොරොත්තු වන සියලු දෙනාමත් මෙම එන්නත අනිවාර්යයෙන්ම ලබා ගත යුතුවේ. 

මෙම එන්නත් රජයේ සියලුම රෝහල්වලින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලවලින් හා නම් කරන ලද එන්නත් මධ්‍යස්ථාන වලින් ලබා ගැනීමේ හැකියාව ඇත. අද රටේ පවතින තත්ත්වය මත එන්නත් ලබා ගැනීමේ දවස් සීමා කිරීම හෝ නම් කරන ලද දින වල පමණක් ලබා දීම සිදු කළ හැකි බවත් ඒ ආයතන වලින් විමසා එන්නත් ගැනීමට කටයුතු කළ යුතු බවත් අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මේ සාකච්ඡාවට එක් වූ වසංගත රෝග ප්‍රධාන විද්‍යාඥ සමිත ගිනිගේ මහතා සඳහන් කළේ කොවිඩ් වසංගතය ගෝලීය වශයෙන් තවම පහව ගොස් නැති බවත්, ඕනෑම අවස්ථාවක අධි වසංගත තත්ත්වයක් ඇති වීමේ හැකියාව පවතින බවත්ය. පසුගිය සති 3 ඇතුළත ලෝකයේ රෝගීන් යම් වශයෙන් වැඩි වීමක් දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ දෛනික රෝගීන් 10 ත් 15ත් අතර සංඛ්‍යාවක් හා මරණ සතියකට 1ක් වශයෙන් දැනට වාර්තා වෙනවා. වර්ධක මාත්‍රාව මිලියන 14.4ක් ඉලක්ක ගත වෙලා තියෙන අතර තව මිලියන 6ක් පමණ ලබා ගෙන නෑ. මෙවැනි තත්ත්වයක් මත නව ප්‍රභේද මතු වුවහොත් අවදානම් තත්ත්වයක් තිබෙන බව සමිත ගිනිගේ මහතා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published.