IMF සාකච්ඡා සුබවාදියි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා ගැන සුභවාදී බලාපොරොත්තු ඇතිව කටයුතු කිරීමට හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (04) ප්‍රකාශ කර තිබේ.

එම සාකච්ඡා මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බව පැවසූ අගමැතිවරයා ඔවුන් සමඟ ගිවිසුම් ගතවන ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේදී මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී ඊයේ (04) සවස පැවැති අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද ඊට එක්ව සිටි බවත් වාර්තා වෙයි.

රටේ පවතින ඉන්ධන අර්බුදය සහ ඊට ගෙන ඇති පිළියම් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කොට ඇති අතර හිඟයකින් තොරව ජනතාවට ඉන්ධන සැපයීම වෙනුවෙන් ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවට සහතික වී තිබේ.

කිසිඳු අවස්ථාවක අත්‍යවශ්‍ය ආහාර හිඟයක් රටතුළ ඇතිවීමට ඉඩ නොතබන බවත් ආහාර ද්‍රව්‍ය ආනයනය, බෙදාහැරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන තිබෙන බව වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත.

Leave a Reply

Your email address will not be published.