ගෑස් ටෙන්ඩරය අවලංගු කිරීම ගැන පරීක්ෂණ කිරීමට කෝප් නිර්දේශ

සියාම් ගෑස් සමාගමෙන් ඇ.ඩො 96 ක මිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අහෝසි කොට ඇ. ඩො 129 බැගින් ගෑස් මෙ.ටො ලක්ෂයක් ඕමාන සමාගමකින් මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් සිදුකරන ලෙස කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (05) නිර්දේශ කළේය.

මීට පෙර පැවති කෝප් කමිටුවේ ලබා දුන් නියෝග ක්‍රියාවට නැංවීම සහ වත්මන් කාර්ය සාධනය පිළිබද සාකච්ඡා කිරීම සදහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගම සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට ඊයේ කැදවූ අවස්ථාවේදී මෙම නිර්දේශය ලබා දෙන ලදී.

පසුගිය පෙබරවාරි මස වන විට ගෑස් මිලදී ගැනීම සදහා තිබූ වාර ටෙන්ඩරය අවසන් වූ බැවින් ගෑස් මෙ.ටො 2,80,000 ක් සදහා ටෙන්ඩර් කැදවන ලද බවත් ඒ අනුව ගෑස්සැපයුම්කරුවන් තිදෙනෙක් ලංසු ඉදිරිපත් කොට ඇති බවත් මෙහිදී හෙළිවිය. මෙහිදී සියාම් ගෑස් සමාගම ඇ.ඩො 96 බැවින් අවම මිල ඉදිරිපත් කොට ඇති අතර ඒ අනුව ටෙන්ඩරය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

එහෙත් ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ලංසු කැදවීමේදී දන්වා සිටි කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් (Standby Letter of Credit / SBLC) ලිට්‍රෝ ආයතනයට ඉදිරිපත් කිරීමට මෙරට බැංකුවලට නොහැකි වීම නිසා එම සියාම් සමා‍ගම හරහා ගෑස් ලබා ගැනීමට නොහැකි වූ බවද මෙහිදී ලිට්‍රෝ නිලධාරීහු ප්‍රකාශ කළහ. 

මේ සම්බන්ධයෙන් අදාළ සමාගම සමග සාකච්ඡා පැවත්වුවද ටෙන්ඩර් කැදවීමේදී ඉදිරිපත් කළ කොන්දේසි අනුව පොරොත්තු ණයවර ලිපියක් නොමැතිව ගෑස් සැපයීමට සමාගම අකමැත්ත පළ කළ බව ලිට්‍රෝ සමාගමේ නිලධාරීහු මෙහිදී පැවසුහ.

මෙම ප්‍රමාදය නිසා සියාම් සමාගමෙන්ම තාවකාලික විසදුමක් වශයෙන් සති දෙකකට අවශ්‍ය දළ ගෑස් ප්‍රමාණය වන මෙ.ටො 15,000ක් හදිසි මිලදී ගැනීම් ලෙස ලබා ගැනීමට සාකච්ඡා කළද ඔවුන්ට සැපයිය හැකි වන්නේ මෙ.ටො 6600ක් පමණක් බව දන්වා සිටීම නිසා එයද අසාර්ථක වූ බව මෙහිදී හෙළිවිය. 

එහෙත් වාර ටෙන්ඩරය සදහා ඇ.ඩො. 129 කට මිලගණන් එවා තිබූ ඔමාන සමාගම මසකට ගෑස් මෙ.ටො 25000 බැගින් මෙ.ටො ලක්ෂයක් මාස 4ක් ලබා දීමට එකගත්වය පළ කළ බවද ලිටෝ සමගම පැවසීය. ඒ අනුව ඉහත කරුණු කැබිනට් මණ්ඩලයට දැන්වීමෙන් අනතුරුව සියාම් ගෑස් සමාගමට ලබා දී තිබූ වාර ටෙන්ඩරය (Term Tender) අවලංගු කොට ඕමාන සමාගමෙන් ගෑස් මෙ.ටො ලක්ෂයක් මිලදී ගැනීමේ වාර ටෙන්ඩරය සදහා කැබිනට් අනුමතිය ලැබුණු බවත් මෙහිදී අනාවරණය විය. ඒ සදහා ලෝක බැංකුවේ ඇ.ඩො. මිලියන 70 ක ණය ආධාරයක් සහ ලිටෝ සමාගමේ ඇ.ඩො මිලියන 20 ක් යොදා ඇ.ඩො. මිලියන 90 ක් වැය කරන බවත් ලිටෝ සභාපති මුදිත පීරිස් මහතා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published.