බොලිවුඩයේ දශක තුනක්

බොලිවුඩයේ කිං ඛාන් ලෙස නම් දරා සිටින්නේ ශාරුක් ඛාන්ය. ඔහු බොලිවුඩයට පිවිසියේ 1992 වසරේ ජූනි 25 වැනිදා ‘දීවානා’ චිත්‍රපටයෙන් දිව්‍යා භාරතී සහ ප්‍රවීණ නළු රිෂි කපූර් සමඟිනි. මේ වන විට ඔහු ලොව පුරා මිලියන ගණනකගේ හදවත් දිනාගෙන වසර 30ක් ගත වී ඇත.

ශාරුක් සිය රංගන ගමන ආරම්භ කළේ ‘ෆවුජි’ සහ ‘සර්කස්’ රූපවාහිනී වැඩසටහන් සමඟිනි. ‘දීවානා’ චිත්‍රපටය වෙනුවෙන් මුල් තේරීම වී තිබෙන්නේ අර්මාන් කෝලිය. අර්මාන්ගේ සැබෑ ජීවිතයේ මෙන්ම වෘත්තීය ජීවිතයේද අතපසු වීම් හා අසාර්ථකවීම් වූයේ අනිසා මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙනි. අර්මාන් ‘දීවානා’ චිත්‍රපටය අතහැරීමෙන් පසු එම භූමිකාව හිම වූයේ ශාරුක් ඛාන් හටය. ශාරුක් වරෙක ජනප්‍රිය රූපවාහිනි වැඩසටහනකදී අර්මාන්හට ගෞරවය ලබා දෙමින් ඔහුට ස්තූති කළේය. තමා ජනප්‍රිය තරුවක් වීමට අර්මාන් කෝලි වගකිව යුතු බව ශාරුක් එහිදී පැවසීය. ‘දීවානා’ චිත්‍රපටයේ දිව්‍යා භාරතී සමඟ පෙනී සිටි පෝස්ටරය තවමත් තමා ළඟ සුරැකිව තිබෙන බවත් ශාරුක් හෙළි කළේය.

ශාරුක්ගේ සිනමා දිවියට දශක තුනක් පිරිම නිමිත්තෙන් ජුනි 25 වැනිදා ඔහුගේ නවතම චිත්‍රපටය ‘පතාන්’ චිත්‍රපටයේ පළමු පොස්ටරය අන්තර්ජාලයට මුදා හරිනු ලැබිණි. පතාන් යනු වසර හතරක දිගු නිහැඩියාවකින් පසුව ඔහුගේ රංගනයක් රිදී තිරයේ දැක ගත හැකි වන චිත්‍රපටයයි. යෂ් රාජ් සමාගමේ චිත්‍රපටයක් ලෙස නිෂ්පාදනය වන මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සිද්ධාර්ත් ආනන්ද් විසිනි. පතාන් චිත්‍රපටය ලබන වසරේ ජනවාරි 25 වැනිදා තිරගත විමට නියමිතය.

“මට දැනෙන්නේ ඊයේ වැඩ පටන් ගත්තා වගේ. අවුරුදු තිහක් රඟපාන්න මම කවදාවත් හිතුවේ නැහැ.මම මුම්බායිවලට ආවේ අවුරුද්දක් දෙකක් වැඩ කරලා චිත්‍රපට පහක් හෝ හතක් විතර කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්.” දශක තුනක සිනමා දිවිය පිළිබඳ ශාරුක් මෙසේ පැවසීය. නළුවකු නොවූයේ නම්, තමාට වඩාත් ආස්වාදයක් ලබා දුන් චිත්‍රපට කර්මාන්තයේ යම් රැකියාවක් කිරීම තම සැලසුම වූ බවද ඔහු සඳහන් කළේය. සෙට් එකේ ලයිට් දැම්මත්, සවුන්ඩ් ඇසිස්ටන්ට් උණත් එහෙම් නැතත් කොහොම හරි චිත්‍රපටවලට සම්බන්ධ දෙයක් කරනවා කියලා හරි හිතුවා ඔහු පැවසීය.

මෑතදී ඔහු සිය සිනමා දිවිය පිළිබඳ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ සෑම අවස්ථාවකම අලුත් දෙයක් කිරීම තම උත්සාහය බවයි. මෑතකදි මම දර්ශනතලයට ගියා. සවස 4:30 ට පමණ ආරම්භ කළ රූගත කිරීම් වෙනුවෙන් පසුදින උදෑසන 8:30 දක්වා සහභාගි වුණා. පැය 15 ක දිනයක් සමඟ චිත්‍රපට ක්‍ෂේත්‍රයේ වසර 30 ක් සැමරීමට වඩා දෙයක් සිනමා දිවියේ නැහැ.” ශාරුක් පවසන්නේ නළුවෙකුගේ ජීවිතය මලල ක්‍රීඩකයෙකුගේ ජීවිතය හා සමාන බවයි. “චිත්‍රපට නිෂ්පාදනය හරියට මීටර් 100 ධාවන තරඟයක් වගේ. ඔබ අවුරුදු 2-3ක් පුහුණුවීම් කරනවා. සමහර දවස්වල ලෝක වාර්තාව බිඳලා යනවා. සමහර දවස්වල ඔබ වේගය අඩු කරනවා. සමහර දවස්වලට හරිම අමාරුයි. ඒ නිසා ඔබ ඔබේ උපරිමයෙන් උත්සාහ කර ඔබ ඒ සඳහා සූදානම් විය යුතුයි. සෑම විටම විය යුත්තේ ධාවන තරඟයකදී මෙන් ඔබේ හොඳම පාදය ඉදිරියට තැබීම සහ එය සෑම විටම සාර්ථක වනු ඇතැයි බලාපොරොත්තු වීමයි. මොකද මම හිතන්නේ මම කරන දේ හොඳම දේ කියලායි” ශාරුක් පවසන්නේය.

පසුගිය දශක තුන පුරා ඔහු විවිධ අධ්‍යක්ෂවරුන් සමූහයක් සමඟ වැඩ කළේය. ‘චමත්කාර්’, ‘රාජු බන් ගයා ජෙන්ටල්මන්’ සහ ‘කබී හාන් කබි නා’ චිත්‍රපටවල චරිතවලින් පසුව ඔහු ‘බාසිගර්’, ‘ඩර්’ සහ ‘අංජාම්’ වැනි චිත්‍රපට සමඟ දුෂ්ට චරිත නිරූපණය කළේය. ඔහු වෙත ඉහළ ජනප්‍රියත්වයක් ගෙන ආවේ ආදිත්‍ය චොප්රාගේ ‘දිල්වාලේ දුල්හානියා ලේ ජායේංගේ’ චිත්‍රපටයෙනි. ‘කභි කුෂි කභි ගම්’, ‘දේව්දාස්’, ‘ස්වදේශ්’, ‘චක් දේ ඉන්දියා’, ‘මේන් හූන් නා’, ‘මයි නේම් ඊස් ඛාන්’, ‘ඩොන්’, ‘හැපි නිව් ඉයර්’ සහ ‘චෙන්නායි එක්ස්ප්‍රස්’ ඔහුගේ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට අතර වේ. ජුහි චව්ලා, කාජල්, මධුරි ඩික්සිත්, සොනාලි බන්ද්‍රේ, රාණි මුඛර්ජි, ප්‍රීති සින්ටා, ඓශ්වර්යා රායි, ප්‍රියංකා චොප්රා, කත්‍රිනා කයිෆ්, දීපිකා පදුකෝන්, අනුෂ්කා ෂර්මා වැනි නිළියෝ රිදි තිරයේ ඔහුගේ පෙම්වතියෝ වූහ. තවමත් පෙම්වත් චරිත මවන ඔහු රිදී තිරයේ අවසන් වරට පෙම්වතෙකු වූයේ ‘ජබ් හැරී මෙට් සෙජල්’ චිත්‍රපටයේ අනුෂ්කා ශර්මා වෙනුවෙනි. ඒ වන විට ඔහු 51 වැනි වියේ පසු වූයේය.

ඔහු තම රංගනයේදී අභියෝග ගැන ද සඳහන් කර සිටී. “නළුවෙක් විදියට මට කරන්න ගොඩක් අමාරු දෙයක් තමයි හිනාවෙන එක. ඒ නිසා මම හිනා වෙන්න ඕන දර්ශන මග හරින්න උත්සාහ කරනවා. සමහර දර්ශන තියෙනවා හිනා වෙන්න ඕන. ඒත් මට ඒක කරන්න හරිම අමාරුයි. මට මතකයි ‘කුච් කුච් හෝතා හේ’ චිත්‍රපටයේ කාජල් සමඟ බාස්කට්බෝල් දර්ශනයේදී මට හිනාවෙන්න බැරි වුණා. කරන් ජෝහාර් එම දර්ශනයේදී මට හිනාවෙන්න හැකි වෙන්න කුඩා ළමයකු විහිළුවක් කිරීමට යොදා ගත්තා. එතකොටත් මට ඒක ඔහුට අවශ්‍ය විදියට කරන්න බැරි වුණා. ඇත්තටම මට හිනාවෙන්න අමාරුයි.”

ශාරුක්ගේ රංගනයක් ප්‍රේක්ෂකයන් අවසන් වරට දුටුවේ 2018 වසරේ ‘සීරෝ’ චිත්‍රපටයෙනි. ‘සීරෝ’ මෙන්ම 2017 වසරේ දී ශාරුක් රඟපෑ ‘ජබ් හැරී මෙට් සෙජල්’ චිත්‍රපටයටත් ආදායම් වාර්තා අතරට නොපැමිණි චිත්‍රපට අතරට එක් විය. ‘සීරෝ’ චිත්‍රපටයෙන් පසු තවත් චිත්‍රපටයක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් නොකළ ඔහු වරෙක පවසා සිටියේ මීළඟ පියවර දැඩි අවධානයෙන් තබන්නට සූදානම් බවයි. ඔහු වසර හතරක් විවේක ගත්තේය. ඔහු එම කාලය වෙන් කළේ තම පවුල වෙනුවෙනි.

“මගේ දරුවන් සමඟ යම් කාලයක් ගත කිරීමටත් ප්‍රේක්ෂකයන්ගේ ආදරණීය කතා ඇසීමටත් මට අවශ්‍ය වුණා” වසර ගණනක නිහැඬියාව පිළිබඳ ප්‍රේක්ෂකයෙකු ඇසූ ප්‍රශ්නයකට ශාරුක්ගේ පිළිතුර විය. බිරිය ගෞරි ඛාන් ඔහුගේ සාර්ථකත්වයේ යෝධ සෙවණැල්ලයි. ආර්යන්, සුහානා, අබ්රාම් ඔහුගේ කැදැල්ලේ දරුවන්ය. පසුගිය කාලයේ ආර්යන් හට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ අවස්ථාවේදී ශාරුක් බොහොම ඉවසිලිවන්න පියෙකු ලෙස තම වගකීම් ඉටු කළේය. 

Leave a Reply

Your email address will not be published.