යුක්‍රේනයේ නැගෙනහිර ‍‍ප්‍රදේශ රැසක යුද ගැටුම් උග්‍ර අතට

යුක්‍රේනයේ, නැගෙනහිර ‍‍ප්‍රදේශ රැසක යුද ගැටුම් තවදුරටත් උග්‍ර වෙමින් පවති. නැගෙනහිරදිග ප්‍රාන්තයක් වන ඩොනෙට්ස්ක්හි ආණ්ඩුකාරවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වහාම  එම ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙසයි.

යුක්‍රේනයේ, නැගෙනහිර ප්‍රදේශ රැසක් මේ වන විට මුළුමනින්ම රුසියානු හමුදා යටතට  පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  ඔවුන්ට අත්පත් කර ගැනීමට ඉතිරිව ඇත්තේ,  ඩොනෙට්ස්ක් ප්‍රාන්තය පමණි. 

තවත් ප්‍රදේශ කිහිපයක් අර්ධ වශයෙන් රුසියානු හමුදාව යටත් කර ගෙන සිටියි.

මේ වන විට දරුණු ගැටුම් පවතින්නේ, ඩොනෙට්ස්ක් ප්‍රාන්තය අල්ලා ගැනීමටය.

තවදුරටත් 350 ,000 කට අධික සිවිල් වැසියන් පිරිසක් මෙම කලාපයේ රැඳී සිටියි. 

ප්‍රාන්ත ආණ්ඩුකාර පවුලෝ කිර්ලෙන්කෝ ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, සිය ජීවිත රැක ගැනීමට පළාතෙන් ඉවත්වන ලෙසයි. 

රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භ වූ දින සිට යුක්‍රේන රජය වැඩිම පිරිසකට සමූහ ඉවත්වයාමේ නියෝගයක් නිකුත් කළ අවස්ථාවක් ලෙස මෙය සැලකේ. 

ජගත් සංවිධානයේ දත්තවලට අනුව  මේ වන විටත්, මිලියන 7.1 කට අධික යුක්‍රේන වැසියන් පිරිසක් අවතැන්ව සිටියි. තවත් මිලියන 5 කට ආසන්න පිරිසක් රටින් පලා ගොස් ඇති බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published.