සල්ලි අච්චු ගහල සංස්ථාවට නොදුන්නොත් රටටම තෙල් නැතිවෙයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තෙල් මිලදී ගැනීම මුදල් අච්චු ගසා ලබා නොදුන්නොත් රටේම තෙල් නැති වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද  (7) පැවැසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 217ක් මුදලක් ඉල්ලා ඇති බවත් භාණ්ඩාගාරයට එලෙස මුදල් ලබාගැනීමට නොහැකි වීම නිසා එම මුදල් ලබාදීමට සිදුවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට බවත් අධිපතිවරයා කීවේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (7) පැවැති මාධ්‍ය හමුවේදී අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙම කරුණු සඳහන් කළේ ය.

එහිදි අදහස් දැක්වූ මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දාල් වීරසිංහ මහතා මෙසේ ද කීය.

“මේ වෙද්දි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 217ක් ඉල්ලා තිබෙනවා. ඔවුන් මේ මුදල් ඉල්ලන්නේ ඩොලර් මිලිදී ගන්නා. මේක භාණ්ඩාගාරයේ කෑෂ් ෆ්ලෝ එකේ තිබුණු එකක් නෙමෙයි. එතකොට කොහෙන්ද භාණ්ඩාගාරය එක්පාරට බිලියන 200ක් දෙන්නේ.

භාණ්ඩාගාරයට දෙන්න විදියක් නැති නිසා භාණ්ඩාගාරය මහ බැංකුවෙන් ඉල්ලනවා. මුදල් අච්චු ගහන්න කියලා ඉල්ලනවා.

උදාහරණයක් විදියට ගිය සතියේ ඔය වගේම තෙල්වලට බිලියන 18.5ක් ඉල්ලලා තිබ්බා. ඒ බිලියන 18 දෙන්න මුදල් මණ්ඩලය තීරණය කළා. ඒක නොදුන්නා නෞකාවකට ගෙවන්න මුදල් නැති වෙනවා. ඒක ඊට වැඩිය බරපතළ ප්‍රශ්නයක් වෙනවා. ප්‍රතික්ෂේප කළ නොහැකි නිසා ගිය සතියෙත් බිලියන 18.5ක් දුන්නා.

ඉදිරියට එකත් ඉල්ලීම් අනුව මුදල් මණ්ඩලය සලකා බලයි.

2020/21 කාලයේ දී මුදල් අච්චු ගහලා තියෙන්නේ විදේශ විනිමය ණය ගෙවීමට. මහ බැංකුවෙන් විශාල වශයෙන් මුදල් අච්චු ගැහුවා ඒ සඳහා. රජයේ විදේශ ණය ගෙවීමට තමයි මුදල් අච්චු ගහලා තියෙන්නේ. ඒ වෙලාවේ ප්‍රතිපත්තිය විදේශ ණය ගෙවීම. අප්‍රේල් වෙනකං ඒක තිබ්බා. ඒ වෙලාවෙත් ආණ්ඩුව සතුව රුපියල් තිබ්බෙත් නෑ, ඩොලර් තිබ්බෙත් නෑ. ඩොලර් ගන්න රුපියල් තිබ්බෙත් නෑ.

මහ බැංකුවෙම අච්චු ගහලා ඒ රුපියල්වලින් ඩොලර් මිලදී ගෙන ඒක ආපහු මහ බැංකුවට දීලා අපේ තියෙන ඩොලර් ටික අරගෙන තමයි අප්‍රේල් වෙද්දි ඒ විදේශ ණය ගෙව්වේ.

ඒත් දැන් තියෙන තත්ත්වය එක්ක අපි මුදල් අච්චු ගහන්නේ අවශ්‍යතාව අනුව. අපි ඒක කරන්නෙත් ඒ කාලයේ වගේ අඩු පොලී අනුපාතික එක්ක නෙමෙයි. ගිය සතියෙත් ඉල්ලුවාම බිලියන 18ක් දුන්නා අපි. දැන් ආයේ බිලියන 217ක් ඉල්ලලා තියෙනවා.

ඒක දෙනවද නැද්ද කියලා තීරණය කරන්න අවශ්‍ය යි. දෙනවා නම් මෙන්න මේ හේතුව නිසා දෙනවා කියලා අපි කියනවා. නොදෙනවා නම් මෙන්න මේ හේතුව නිසා නොදෙනවා කියලා කියනවා. එහෙම නැති වුණොත් රටේ තෙල් නැති වෙන්නත් පුළුවන්.

ඉදිරි කාලයේ දී රටේ උද්ධමනය සියයට 70ක් දක්වා ඉහළ යා හැකි යි. මහ බැංකුව කරන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. පොලී අනුපාතය වැඩි කරලා උද්ධමනය පාලනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා”.

Leave a Reply

Your email address will not be published.