රටට අවැසි නායකයින් එකතු කිරීම නොව ප්‍රතිපත්තිමය වෙනසක් – බිමල්

කතා කරන බොහෝ දෙනාට අවශ්‍ය ව ඇත්තේ තෙල් දෙන්න පුළුවන් ආණ්ඩුවක් බවයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසනවා. එවැනි ප්‍රශ්න නොමැති අයට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ රාජපක්ෂලා එළවීමට ‘චූටිම චූටි කාලයකට හෝ’ ජවිපෙ සහ සජිත් බලවේග එකතු කිරීම බව පෙනෙන බව ඔහු කියනවා.

“ලංකාවට තෙල් හිඟ වූයේ පසුගිය අප්‍රේල් මාසයේ ඉඳලා. ඊට කලින් ලංකාවට තෙල්, ගෑස් දෙකම තිබුණා. තෙල් හා ගෑස් නැතිවීමෙන් ඇති පීඩාව නිසා ජනතාව ප්‍රශ්නය තෙල් දෙන ආණ්ඩුවකට සීමාකර ගැනීම තේරුම් ගන්න පුළුවන්. නමුත් ලංකාව වැටුණේ තෙල් නැති වීමට සහ ගෑස් නැති වීමට බොහෝ කලකට පෙරයි.

ඒකට හේතුව රට අනුගමනය කරමින් තිබෙන විනාශකාරී නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිත්, එහිම දිගුවක් වන දූෂිත දේශපාලන සංස්කෘතියත්, ජාතිවාදී, ආගම්වාදී, පසුගාමී සමාජ සංස්කෘතියත් අවම වශයෙන් දශක හතරක් වත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම. දැන් ප්‍රශ්නය අති සරළ කොට තෙල් ගෙන්වීමට පුළුවන් ආණ්ඩුවක්, ඉක්මනට ණය ගොඩාක් ගැනීමට පුළුවන් ආණ්ඩුවක්, වෙනුවෙන් ද්‍රව්‍යමය වටපිටාවක් ගොඩනැගී තියෙනවා. එමෙන්ම දේශපාලන කතාබහක් ද ගොඩ නංවා තිබෙනවා.

ඒ අරමුණු සඳහා ගොඩනගන ආණ්ඩුවක් දෙවැනි වෙන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ ‘මොකුත් එපා, කන්න නැතත් ඉන්න පුළුවන් රටක් තිබ්බොත් ඇති’ යනුවෙන් රටේ ජනතාව දක්කන ලද ව්‍යාපෘතියටමයි.

ලංකාව මුහුණ දී තිබෙන්නේ හයිටිය මුහුණ දුන් ස්වාභාවික ව්‍යසනයක් පදනම් කරගත් වර්ගයේ අර්බූදයකට නොවෙයි. යේමනයෙ සිදු වී ඇත්තාක් මෙන් සිවිල් යුද්ධයක හා ආක්‍රමණයක හේතුවෙන් ඇතිවූ ව්‍යසනයකට ද නොවෙයි. වෙනිසියුලාව මුහුණ දී ඇති අමෙරිකානු සම්බාධක නිසා ඇතිවී තිබෙන අර්බුදයකට ද නොවෙයි. මියන්මාරය මුහුණදී ඇති ඒකාධිපති හමුදා ආණ්ඩුවකින් ඇති කරන ලද අර්බූදයකටත් නෙමෙයි.

ලංකාව මුහුණ දී ඇත්තේ සෘජු ධනේෂ්ර ආර්ථික ප්‍රතිපත්ති වලින් ඇති කරන ලද ව්‍යුහාත්මක, නිදන්ගත අර්බූදයකට.

පරිධියේ, රටක් අධිරාජ්‍යවාදී යුගයේදී අධිරාජ්‍යවාදය විසින් යෝජිත ආර්ථික මූලධර්ම අනුගමනය කිරීම නිසා විනාශ වන්නේ කෙසේද යන්න පිළිබඳ විශ්වවිද්‍යාල පාඩම් වලට එකතු කළ යුතු වර්ගයේ පාඩමකටයි අපි දැන් මුහුණ දෙන්නේ” ජවිපෙ ජාතික සංවිධායකවරයා සඳහන් කරනවා.

“එනිසා එයට පිළිතුරු ඇත්තේද අපේ රට මේ ප්‍රපාතයට හෙලූ ධනේශ්වර ආර්ථික, දේශපාලන, සමාජ ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග වෙනස් කරන පාලනයකට විතරයි. දැනට ඇති ප්‍රතිපත්තිම, හොරකමින් තොරව, කළමනාකරණය කරපු පළියට ලංකාව ගොඩගත නොහැකියි. ප්‍රතිපත්තිමය වෙනසකින් තොරව හැම පැත්තෙම සිටින ‘හොඳ නායකයන්’ එකතු කරගෙන අටවන ඕනෑම එකක් 2015 යහපාලන අච්චාරුවට ද වඩා ජනතාව පාවා දෙනවා. ඒ නිසා කළ යුත්තේ තෙල් ගෙනෙන ගමන්ම රටේ ජනතාව පුළුල් ප්‍රතිපත්තිමය වෙනසකට සූදානම් කිරීම” යි බිමල් රත්නායක මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published.