ශ්‍රීලනිපයෙන් වහා ක්‍රියාත්මක කළ යුතු යෝජනාවලියක්

වර්තමානයේ උද්ගතවී ඇති ජනතා විරෝධය අනුව තවදුරටත් බලයේ රැඳී සිටීමේ දේශපාලනික හෝ සදාචාරාත්මක යුක්ති යුක්ත අයිතියක් වත්මන් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට නොමැති අතර ජනතා විරෝධය තේරුම් නොගෙන තවදුරටත් කටයුතු කරන්නේ නම් රට තුළ ඉතා භයානක තත්ත්වයක් උද්ගතවීමට ඉඩ ඇති බවත් එහෙයින් තම පක්ෂය වගකිවයුතු සියලු පාර්ශවයන් වෙත පහත යෝජනා තරයේ අවධාරණය කර සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනය පහතින්,

කාලීනව ආර්ථික සමාජයීය, දේශපාලනික ක්ෂේත්‍ර නිසි ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කිරීමට අසමත්වීමත් ජාතික සංවර්ධනය සඳහා මේ සෞභාග්‍යමත් දේශයේ සම්පත් කළමනාකරණය කිරීමට දේශපාලන අධිකාරිය අපොහොසත්වීමේත් ප්‍රතිඵලයක් ලෙස උද්ගතවූ ආර්ථික අර්බුදය, පසුගිය මාස තුනක කාලය තුළ සීඝ්‍රයෙන් තීව්‍ර වෙමින් අද වන විට ඉතා බැරෑරුම් හා තීරණාත්මක අඩියකට රට පත් කර තිබේ. මෙම තත්ත්වය නිසි පරිදි විග්‍රහ කරගැනීමෙන් පසුව සර්ව පාක්ෂික අන්තර්කාලීන දේශපාලන ව්‍යුහයකින් රට යථා තත්ත්වයට පත් කර, දෙවනුව මැතිවරණයකින් මීළඟ ආණ්ඩුව පත් කිරීමේ අවස්ථාව ජනතාවට උදාකර දිය යුතුයැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කළේ මාස ගණනාවකට පෙරාතුව ය.

අද වන විට උද්ගතවී ඇති ජනතා විරෝධය අනුව තවදුරටත් බලයේ රැඳී සිටීමේ දේශපාලනික හෝ සදාචාරාත්මක යුක්ති යුක්ත අයිතියක් වත්මන් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හෝ ආණ්ඩුවට නැත. ජනතා විරෝධය තේරුම් නොගෙන තවදුරටත් කටයුතු කරන්නේ නම් රට තුළ ඉතා භයානක තත්ත්වයක් උද්ගතවීමට ඉඩ ඇති බව පැහැදිලි ය.

එහෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගකිවයුතු සියලු පාර්ශවයන් වෙත පහත යෝජනා තරයේ අවධාරණය කර සිටී.

1. ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා වහා ඉල්ලා අස්විය යුතුය.

2. ජනාධිපතිවරයකු පත් කරගන්නා තෙක් කථානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් කරගත යුතුය.

3. යෝජිත සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව ස්ථාපනය කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ගෙන් සමන්විත වන ජාතික විධායක සභාවක් හෝ නායකත්ව මණ්ඩලයක් ස්ථාපනය කළ යුතුය.

4. එම ජාතික විධායක සභාවේ හෝ නායකත්ව මණ්ඩලයේ හා ක්‍රියාකාරී සිවිල් ක්‍රියාකාරීන්, විද්වතුන්, වෘත්තිකයන්ගේ එකඟතාවයෙන් යුක්තව ජනාධිපති හා අගමැති පත් කරගත යුතුය.

5. රට අර්බුදයට පෙර තිබූ තත්ත්වය කරා ගෙනයෑම සඳහා අත්‍යවශ්‍ය හා ඉලක්ක ගත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සීමිත විෂය පථයන් සංඛ්‍යාවකින් සමන්විත අර්බුද කළමනාකරණ කැබිනට් මණ්ඩලයක් පත් කර ගත යුතුය.

6. අර්බුද කළමනාකරණ කැබිනට් මණ්ඩලයේ විෂය ක්‍රියාවට නැගීමේදී විද්වතුන්, වෘත්තිකයින්, සිවිල් ක්‍රියාකාරීන් ජනමත නායකයින්ගෙන් සමන්විත ජාතික උපදේශක සභාවක් ඒ ඒ අමාත්‍යාංශ අනුබද්ධිතව පිහිටවිය යුතුය.

7. අර්බුදය කළමනාකරණය කිරීම සඳහා ඉහත ක්‍රියාකාරී හා උපදේශන යාන්ත්‍රණයන්ගෙන් සමන්විතව ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව, අත්‍යවශ්‍ය සේවා, සමාජ සුභසාධනය හා සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල, හා සමාජ දේශපාලනික ප්‍රතිසංස්කරන/ප්‍රතීයාන්ත්‍රීකරණ එළඹුම් ඉලක්ක කරගත් ඒකාබද්ධ කළමනාකරණ වැඩපිළිවෙලක් ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුය.

8. නොපමාව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍ය ප්‍රශස්ත සංශෝධනය සහිතව යළි සම්මත කිරීම කළ යුතුය.

9. රට අර්බුදයට පෙර තිබූ තත්ත්වය කරා පත් කළ වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත් කරගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට උදාකළ යුතුය.

10. ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම, හා ශ්‍රී ලංකාව දියුණු දේශයක් කිරීම සඳහා අවශ්‍ය නෛතික, ව්‍යවස්ථාමය පදනම ගොඩනැගීමටත්, සමාජ දේශපාලනික ප්‍රතියාන්ත්‍රීකරණයන් ක්‍රියාත්මක කිරීමටත්, අවශ්‍ය ව්‍යුහාත්මක පරිවර්තනයන් කිරීමටත්, නව ව්‍යවස්ථාවක් සම්පාදනය එම නව රජයේ ප්‍රමුඛ කාර්යය විය යුතුය.

මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති,

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 6 වන විධායක ජනාධිපති

Leave a Reply

Your email address will not be published.